ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Thursday, March 22, 2012

Windows 8 නව විශේෂාංග

Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන Windows මෙහෙයුම් පද්ධති පෙළේ නවතම සාමාජිකයා Windows 8ය. වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතියෙන් පසු එන පෙරලිකාරම මෙහෙයුම් පද්ධතිය Windows 8 වනු ඇති බව එම සමාගම විශ්වාසය පළකරනවා. මෙම නව තාලයේ මෙහෙයුම් පද්ධතිය අත්හදා බැලීමේ Alpha version (Developer Preview) ලෙස පසුගියදා නිදහස් කෙරුණා. ඒ 2011 සැප්තැම්බර් 13 වන දින ආරම්භ වූ BUILD2011 සමුළුවේදීය. වින්ඩෝස් 8 හි අලුත් ගතිගුණ සාමාන්‍ය ජනයාට බලාකියාගැනීම සඳහා නොමිලේ දෙන Windows 8 Consumer Preview නිකුත්කෙරුණේ පසුගිය පෙබරවාරි 28 දින දීය.


මින්පෙර නිකුත්කරණ ලද මෙහෙයුම් පද්ධති මෙන් නොව Windows 8 නිමවා තිබෙන්නේ desktop, laptop, tablet, smartphone යනාදී සියළු පරිගණක මෙවලම් මත ධාවනය කළහැකි පොදු මෙහෙයුම් පද්ධතියක් ලෙසය.


නව මෙහෙයුම් පද්ධතියේ විශේෂාංග කීපයක්..

  • Windows 7 මත ක්‍රියාත්මක වන සියලු යෙදුම් මෘදුකාංග Windows 8 පද්ධතිය මත ද ක්‍රියාකරයි.
  • Metro UI(User Interface) - ස්පර්ශකසංවේදී තිර තාක්‍ෂණය මත පදනම් වූ අතුරු මුහුණතකි. වෙබ්/ක්ලවුඩ් ප්‍රවණතාවයන් මත ගොඩනැග්‍රණු බව සඳහන්ය.
  • පද්ධති ප්‍රවේශණ කාලය තත්පර 10කටත් වඩා අඩුවීම
  • මෙහෙයුම් පද්ධතිය මගින් භාවිතවන RAM මතක ප්‍රමාණය 210MB පමණ වන ලෙස අඩුකර තිබීම
  • File copy වින්ඩෝව නවීකරණය වී ඇත
  • iso ගොනු සඳහා සහාය සමග Windows Explorer තුළට ribbon මුහුණතක් එක්කර තිබීම
  • Security updates පිළිබඳ දැනුම්දීම් login screen එකේ දකුණු පස යටින් පමණක් පෙන්නුම් කරයි
  • වැඩිදියුණු කරන ලද Task Manager. applications තිරයේ දිස්නොවන විට Task Manager මගින් suspend(තාවකාලිකව අක්‍රිය) කිරීමේ හැකියාව
  • පද්ධතිය අලුතින් ස්ථාපනය කිරීම වෙනුවට "Reset PC" පහසුකම(Windows 8 අලුතින් install කළා හා සමාන තත්වයකට පද්ධතිය ගෙන ඒමට)
  • පද්ධතියේ සැකැස්ම(Settings) ප්‍රතිපිහිටුවීමට සඳහා "Refresh PC" පහසුකම.
  • මෙහෙයුම් පද්ධතියට අන්තර්ගතකරන ලද HyperV Virtualization මෘදුකාංගය. (වෙනත් Operating Systems Windows 8 තුලදී ධාවනය කිරීම සඳහා)
  • වැඩිදියුණු කරන ලද multi-monitor සහාය සහ පහසුකම්
  • Internet Explorer 10 සඳහා multi-touch සහාය
  • වැඩිදියුණු කරන ලද Windows Magnifier උපයෝගීතා යෙදුම
  • Cloud apps සඳහා වෙන්කර ඇති SkyDrive ගබඩාකරණ අවකාශය
  • උපාංග සඳහා syncing පහසුකම්
  • මෘදුකාංග download කර ගැනීම සඳහා Windows store සහාය
  • NFC රැහැන්රහිත සන්නිවේදන සහාය
  • මෙහෙයුම් පද්ධතිය සඳහා ප්‍රති වෛරස උපයෝගීතා මෘදුකාංගයක්
  • ටැබ්ලට් පරිගණක සඳහා ජනප්‍රිය ARM processor සඳහා සහාය
  • Picture password පහසුකම.(ඡායාරූපයක්, පින්තූරයක් රහස්පදයක් සේ භාවිතා කිරීමේ හැකියාව)
Metro User Interface
Windows 8 මෙහෙයුම් පද්ධතියට මෙන්ම Windows 8 developer preview සඳහා දිගටම නොමිලේ updates දීමට Microsoft සමාගම කටයුතු කරනු ඇත. තවමත් Windows 8 සංස්කරණ මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශයට පත්කර නොමැත.

Windows 7ට පසුව එන මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කළේ eight යන කේතනාමයෙනි. මෙතෙක් කල් මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයුම් පද්ධති නිකුත්කළේ කේතනාමය නොවන වෙළඳනාමයකිනි. Windows eight නමේ ජනප්‍රියත්වය හමුවේ මේ සම්ප්‍රදාය ඔවුන් තවදුරටත් රැකගනීවිද යන වග තවමත් පැහැදිලි නම් නැත.

Sunday, March 18, 2012

Anonymous OS උගුල

පසුගිය 12වන දා ලොව ප්‍රකට Anonymous හැකර් කණ්ඩායමේ නමින් මෙහෙයුම් පද්ධතියක් අන්තර්ජාලයට එක්වුණා. මෙය මුලින්ම SourceForge අඩවියේ පළවුණු අතර සුවිශාල ලෙස ප්‍රචලිත්වයක් අත් කරගත්තා. අධ්‍යාපනික බෙදාහැරීමක් වශයෙන් සලකුණු කොට තිබුණු එහි වැඩිදුරටත් සඳහන් වූයේ වෙබ් අඩවිවල ආරක්‍ෂාව බිඳහෙලිය හැකි යෙදුම් එහි අඩංගු බවයි. නමුත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එය තම වෙබ් අවකාශයෙන් ඉවත්කිරීමට Sourceforge පරිපාලකයන් කටයුතු කළේ එහි විනිවිදභාවය පැහැදිලි නොමැති බව ප්‍රකාශයට පත්කරමිනි. කෙසේ වුවද නොබෝ වේලාවකින් විවිධ අඩවි කීපයක් තුලම බාගත කරගත හැකි පරිද්දෙන් Anonymous OS පළවිණි.


ලොවපුරා නොයෙකුත් සමාගම් විවිධ මතවාද ගොඩනගන්නට වූහ. වෙබ් ජාලය බිඳහෙලීමට ඇනොනිමස් සූදානම් වන  බව කෙනෙකු මත පලකරද්දී තවකෙකු කියාසිටියේ මෙය ඇනොනිමස් ජාලය ලොවපුරා ව්‍යාප්තකිරීමේ උත්සාහයක් බවයි. ඒවා එසේ වෙද්දී, තම නිල Twitter පිටුව මගින් මෙම මෙහෙයුම් පද්ධතිය පිළිබඳ ප්‍රකාශයක් නිකුත්කරමින් Anonymous කණ්ඩායම දන්වා සිටියේ එය තමන් විසින් නිකුත්කරණ ලද්දක් නොවන බවත් එය භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.

නව MATE Desktop Environment යොදා ඇති මෙම ව්‍යාජ මෙහෙයුම් පද්ධතිය නිමවා ඇත්තේ Ubuntu 11.10 සංස්කරණය ඇසුරෙනි. තවද එය තුල Trojan වැඩසටහන් අඩංගු බවද ප්‍රකාශයට පත්විණි.


Anonymous Operating System පලවීමත් සමග කෙතරම් අනවබෝධයක් ඇතිවීද යත් ලොවපුරා විසිරී සිටින සමහරක් ඇනොනිමස් සාමාජිකයින් පවා මෙය අත්හදාබලන්නට ගොස් හොඳ පාඩමක් ඉගෙන ඇති බවද වාර්තාවේ. ඉතින් එවැනි තත්වයකදී මෙය download කරගැනීමට නිකුත්වී දින 2ක් ගතවන්නටත් මත්තෙන් ලක්‍ෂ 3කටත් ආසන්න පිරිසක් විසින් බාගතකරගත් බව ඇසීමෙන් පුදුමයට පත්විය යුතු නැත. එය කෙසේවුවත් ඇනොනිමස් නාමය ඇඟේ ගාගන්නට දඟලන අයටත් දුරදිග නොබලා කටයුතු කරන කාට කාටත්: AOS කාලයකට මතක හිටින පාඩමක් වනු ඇත.

Thursday, March 15, 2012

Panoramic කැමරා බෝලය

පරිදර්ශක(Panoramic) ඡායාරූප ගැනීම තවදුරටත් සංකීර්ණ කාර්යයක් නොවේ. දැන් එය බෝලයක් විසිකිරීම තරම් සරල කර්යයකි. මේ සදහන් කරන්නට යන නව නිර්මාණයේ ඇති විශේෂත්වය වන්නෙ මෙමගින් ගනු ලබන පින්තූර සාමාන්‍ය Panoramic ඡායරූප ගැනීමක් නොවීමයි. බර්ලින් නුවර Technische Universtität විශ්ව විද්‍යාලයෙහි උපාධිදාරී Jonas Pfeil විසින් මෙම අපූරු කැමරාව නිර්මණය කර තිබේ. බැලුබැල්මට පාපන්දුවක් සේ පෙනෙන මෙම බෝලය මත ස්ථීර ලෙස නාභිගත කරන ලද 2MP කැමරා 36කි. සාමාන්‍ය Panoramic ඡායාරූප උපරිම වශයෙන් අංශක 360කට සීමාවෙද්දී මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙමගින් පූර්ණ ගෝලාකර panoramic ඡායරූප ගැනිමට පුලුවන් වීමයි.

ඡායාරූපයක් ගැනීමට ඔබ කළයුත්තේ බෝලය ඉහළට විසිකිරීම පමණයි. බෝලය ඔබේ අතින් ගිලිහෙනවාත් සමග එහි ඇති ත්වරණමානයෙන් බෝලයේ මුල් ත්වරණය මනිණු ලැබේ. එමගින් ස්වයංක්‍රීයව බෝලය ළඟාවන උපරිම උස සහ එයට ගතවන කාලය තීරණය කරගනු ලැබේ. දැන් මෙම බෝලය ඉහලම ලක්ෂයට ලඟා වූ සැණින් මෙහි ඇති කැමරා 36 මගින් එකවර ඡායාරූප ගැනීම සිදුකරයි. ඉන්පසු ඔබ කළයුතුව ඇත්තේ ඉහළට ගිය වේගයෙන්ම ආපසු පැමිණෙන බෝලය රැකගැනීමයි. Foam ආවරණයකින් බෝලය වටකර ඇති මුත් මෙතෙක් එය අතහැරීමට තරම් එහි නිර්මාපකයන් සූදානම් නැති බවයි පෙනෙන්නේ.



මෙසේ ගන්නා ලද ඡායාරූප එකතුව USB සම්බන්ධතාවක් මගින් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් අනතුරුව විශේෂයෙන් සකසන ලද මෘදුකාංගයක් මගින් ගෝලාකාර panorama දර්ශනය බලාගත හැක.

මෙම අපූරු නිපැයුම සඳහා Pfeil ගේ මිතුරන් වන Kristian Hildebrand, Carsten Gremzow, Bernd Bickel සහ Marc Alexa යන අයද දායක වී ඇත.


වැඩි විස්තර සඳහා http://jonaspfeil.de/ballcamera වෙබ් අඩවියට පිවිසෙන්න.

Wednesday, March 14, 2012

Compression හා Decompression ගැන යමක්...

සම්පීඩනය කිරීම මඟින් බලාපොරොත්තුවන්නේ ගොනුවක් ගබඩාකිරීමේදී අත්පත් කරගන්නා අවකාශයේ ප්‍රමාණය අවම කිරීම ය. File එකක් නිර්මාණයවන්නේ මෘදුකාංගයකට හෝ පරිගණක පරිශීලකයාට තේරුම්ගත හැකි, භාවිත කළ හැකි ආකෘතියකටය. පරිගණනයේ සාමාන්‍ය රීතියක් හැටියට file size එක හැකිතාක් අවම ලෙස තබාගන්නා ලෙසයි බොහෝ මෘදුකාංග ක්‍රියාකරන්නේ. ඒ අනුව යම්යම් file format තරමක්දුරට සම්පීඩිත තත්වයේ පවතිනවා.

ගොනුවක දත්ත ආකෘතිගත කර ඇත්තේ අදාල මෘදුකාංගයකට කියවා තේරුම්ගත හැකි ආකාරයකටය.

සම්පීඩනය මඟින් කෙරෙනුයේ ගොනුවේ දත්ත රටාව ඇසුරින් වෙනත් දත්ත රටාවක් නිර්මාණය කිරීමයි. මෙම නිර්මාණය කරගත් නව දත්ත රටාව මුල් ගොනුවට වඩා කුඩා වුවත් මුල් ගොනුවේ අඩංගු වූ දත්ත සියල්ල වෙනත් අයුරකින් නිරූපණය කර ඇත. එබැවින් ගොනුව සම්පීඩනය වී ඇතැයි කියමු.

සම්පීඩිත තත්වයේ ගොනුවේ දත්ත රටාව තවදුරටත් පෙරකී මෘදුකාංගය මගින් කියවා තේරුම්ගත නොහැක. ගොනුව නැවත භාවිත කළහැකි තත්වයට ගෙනඒමට නම් අසම්පීඩනය(decompress) කර මුල් තත්වයේ ගොනුව ප්‍රතිනිර්මාණය කරගතයුතුය.

Lossless Data Compression/Decompression

Decompression සඳහා බොහෝවිට කෙරෙනුයේ compress කිරීමේදී භාවිතාකළ ක්‍රියාපටිපාටිය ආපස්සට කිරීමයි. එමගින් සම්පීඩිත ගොනුව කියවා එහි දත්ත රටාව ඇසුරින් මුල්ගොනුවෙහි වූ දත්ත රටාව යලි නිර්මාණය කෙරේ.

Compression/decompression තත්වයන් රඳා පවතින්නේ සම්පීඩනය/අසම්පීඩනය සඳහා භාවිතා කරන මෘදුකාංගයේ වර්ගය මත නොව; එම කාර්යයට භාවිත කරන ඇල්ගොරිතමට(ක්‍රියාපටිපාටියට) අනුවයි. (උදා: Huffman, PPM, LZ, ...) සමහරක් ගොනු ආකෘති සම්පීඩනය කිරීමෙහිලා සමහරක් ඇල්ගොරිතම උචිත වුවද සියලු ගොනුවර්ග සඳහා ප්‍රමාණවත් සම්පීඩනයක් ගෙන නොඑන්නට පුලුවන. එබැවින් විවිධ තත්වයන්ගේ ගොනු සඳහා විවිධ වූ ඇල්ගොරිතම භාවිතයට ගැනේ.

මුල් ගොනුවේ දත්ත රටාව, දත්ත ප්‍රමාණය මෙන්ම භාවිතාකරන ඇලිගොරිතමය අනුව ද සම්පීඩිත ගොනුවේ දත්ත රටාව ද, ප්‍රමාණය ද, ගතවන කාලය ද තීරණයවේ.

ප්‍රමාණය හා ගතවන කාලය ඇල්ගොරිතම මත රඳාපවතී


සම්පීඩනය කිරීමේ වාසි/අවාසි:
  • විශාල දත්ත ගොනු ඊට වඩා කුඩා දත්ත ගොනු මගින් නිරූපණය කිරීමෙන් ගබඩාකරණය සඳහා වැයවන ඉඩකඩ අවමවීම
  • ගොනුවේ ප්‍රමාණය කුඩාවීම නිසා upload, download ආදී සම්ප්‍රේෂණ කටයුතු සඳහා ගතවන කාලය අඩු වීම
  • සම්පීඩිත තත්වයේදී මුල් ගොනුවේ ආකෘතිය නොමැති බැවින් සාමාන්‍ය මෘදුකාංග මගින් භාවිත කළ නොහැකිවීම
  • compression, decompression සඳහා පරිගණකයේ සැකසුම් බලය(processing power) හා අමතර කාලයක් ගතවීම

Tuesday, March 13, 2012

Right Click මෙනුවට කැමති වැඩසටහනක්

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද.


මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor වැඩසටහන විවෘත කරගන්න.

මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell වෙත පිවිසෙන්න. මීළගට Shell යන ෆෝල්ඩරය රයිට් ක්ලික් කර, ලැබෙන option අතරින් New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස රයිට් ක්ලික් කල විට ලැබිය යුතු ඔප්ෂනයට නමක් ලබාදෙන්න. මීළගට සාදාගත් Key එක රයිට් ක්ලික් කර New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස command යන්න සටහන් කර OK කරන්න. මීළගට අවසානයේ සාදාගත් command Key එක මත ක්ලික් කර වම් පසින් දිස්වන Default අයිකනය ඩබල් ක්ලික් කරන්න.දැන් විවෘත වුනු Edit String මෙනුවෙහි Value data ස්ථානයට රයිට් ක්ලික් මෙනුවට ඇතුලත් විය යුතු වැඩසටහන පරිගණකයේ ඇති පාත් එක නිවැරදිව සටහන් කර OK කරන්න.

 යම් වැඩසටහනක පාත් එක ලබා ගැනීම සදහා කීබෝර්ඩ් එකෙහි ඇති Shift යතුර සමග අදාල වැඩසටහනේ අයිකනය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Copy as path තොරන්න.

Sunday, March 11, 2012

වැළලීගිය ඇපල් සිහිනය

Apple ඉතිහාසය විදහාපාන ලොව විශාලතම සහ දුලබම අයිතමයන් ගොනුව මෑතකදී අනාවරණය විය. 1976 සිට මෑතකාලය දක්වා දිවයන මෙම එකතුවට හිමිකම්පාන්නේ එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් සරසවියයි. නමුත් අදටත් එය මහජනයාගෙන් වසන්කර තබාගැනීමට ඔවුන් ක්‍රියා කරතිබෙන්නේ මෙම දුර්ලබ එකතුවට ජනතාපැමිණීමෙන් වියහැකි හානි පිළිබඳ සැලකීමෙන් බව සඳහන්වේ.

ලිපිලේඛන, දෘඩාංග, මෘදුකාංග, පටිගතකරන ලද සම්මුඛසාකච්ඡා ආදිය ඇතුලත් මෙම එකතුව සරසවිය වෙත ලැබුණේ Apple සමාගම විසින් 1997දී කළ පරිත්‍යාගයක් ලෙසිනි. අනාගතයේ යම්දිනෙක ස්ටැන්ෆෝඩ් සරසවිය සමග ඒකාබද්ධව තම සමාගමේ ඉතිහාසය විදහා දක්වන කෞතුකාගාරයක් නිමැවීමේ බලාපොරොත්තුවෙන් Apple සමාගම 1997දී කළ මෙම පරිත්‍යාගය ටිකින්ටික අමතකවී ගොස් වැළලීගිය සිහිනයක්ම බඳුවිය. සමාගමෙන් පරිත්‍යාගකළ එකතුවට අමතරව පසුකාලීනව එහි සේවකයන් විසින් කළ පරිත්‍යාගද එකතුව තුළ ඇතුලත්වී ඇත.


1976 වර්ෂයේදී ඇපල් සමාගම ආරම්භ කළේ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් විසිනි. නමුත් වසර 1985දී ඇපල් හි අධ්‍යක්‍ෂක මඩුල්ල සමග ඇතිකරගත් අමනාපයක් හේතුවෙන් ස්ටීව් ජොබ්ස් තම සමාගමෙන් ඉල්ලාඅස්විය. 1997 වසරේදී නැවතත් ඇපල් සමාගම හා එක්වීම නිමිත්තෙන් ජොබ්ස් මෙම පරිත්‍යාගය සිදුකරන්නට ඇත. සමහරක්විට තම ජීවන වික්‍රමය අනාගත ලොවවෙනුවෙන් සුරකින්නටයයි ඔහුට සිතෙන්නට ඇත. ඔහු ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ ඉගෙනුම ලැබුවෙකු නිසාවෙන්ද එය සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන ආ නිසාද එය තෝරාගන්නට ඇතැයි සිතිය හැක.

එකතුව තුළ අඩංගු එක් රසවත් ලිපියක් මෙසේය. එවකට එම ලිපියෙහි රචකයා විසින් තම මිතුරෙකු වෙත තරයේ කළ අවවාදයක් ලෙස ලියා ඇති එහි සටහන්වන්නේ ස්ටීව් ජොබ්ස් නැමැති කරදරකාරයාගෙන් පරිස්සම්වන ලෙසටයි.
 
Steve Jobs - Apple සමාගමේ සමනිර්මාතෘ

ස්ටැන්ෆෝඩ් සරසවියෙන් දුරස්ථ පෙදෙසක ගොඩගසා ඇති මෙම එකතුව පිහිටා ඇති ස්ථානය හෙළිනොකිරීමට සරසවිය වගබලාගෙන ඇත. ලෝකය ඇපල් සමාගම පිළිබඳ දත් නොදත් දේ සඟවාගෙන සිටින මෙම එකතුව මහජනයාට එළිපෙහෙලි වන දිනය කවදාද? නොඑසේනම් හොරරහසේ මෙතෙක් සඟවාගෙන සිටින මෙම ගොනුව යකඩ, පත්තර වලට විකිනේවිද? තවමත් සරසවිය මේ පිළිබඳ මුණිවත රකින්නේය.

Saturday, March 10, 2012

Data Compression

පරිගණකය භාවිත කිරීමේදී විශාල ගොනු කුඩා ගොනු බවට පත්කිරීමේ ඉන්ද්‍රජාල හැකියාවෙන් යුත් විවිධ පරිගණක වැඩසටහන් ඔබට මුණගැසී ඇතිවාට සැක නැත. Winzip, WinRAR, CABARC, PowerArchiver, Total Commander, 7zip ආදී විවිධ නම්වලින් අපේ පිහිටට එන මෙම මෘදුකාංග පොදුවේ දත්ත සම්පීඩක ලෙස හඳුන්වමු.


කිසියම් තොරතුරු සමූහයක් හැකිතාක් එහි අර්ථය නොවෙනස්වන පරිදි අවම ඉඩ ප්‍රමාණයකින් (අවම bit ප්‍රමාණයකින්) නිරූපණය කිරීම දත්ත සම්පීඩනය ලෙස අර්ථදැක්විය හැක.

උදාහරණයක් ලෙස: 100MB දත්ත ගොනුවක් ඊට වඩා කුඩා ගොනුවක් බවට පත්කිරීම දැක්විය හැක. එසේත් නැත්නම්, අකුරු 100කින් යුත් ලිපියක් ඊට වඩා අඩු අක්‍ෂර ප්‍රමාණයකින් නිරූපණය කිරීම දැක්විය හැක. වැදගත් වනුයේ සම්පීඩිත ගොනුව තුළ මුල්ගොනුවේ දත්තයන් අන්තර්ගතවී තිබීමයි.

බැලුබැල්මට මෙය ප්‍රායෝගිකයයි සිතීම පවා අපහසුය. නමුත් එහි සාර්ථකත්වය කොතෙක්ද යත් අපි බොහෝදෙනා අත්දැකීමෙන් දනිමු. වර්තමානයේ භාවිත වන නොයෙකුත් සම්පීඩන මෘදුකාංග භාවිතකර 100MBක ගොනුවක් 70MBක් දක්වා හෝ සමහරවිට 30MBක් දක්වා අඩුකර ගත හැක.

දත්ත සම්පීඩන ක්‍රමවේදයන් මූලික වශයෙන් කාණ්ඩ දෙකක් ඔස්සේ වර්ගීකරණය හැක. ඒවා Lossless සහ Lossy සම්පීඩන ආකාරයන් ලෙස හැඳින්වේ.


Lossless ආකාරයේ සම්පීඩිත ගොනුවක් ඇසුරින් මුල් ගොනුව යලිත් ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරගත හැක. මන්දයත් මුල් ගොනුව තුල ඇතුලත් වූ සියලු දත්තයන් සම්පීඩිත ස්වරූපයකින් අවසන් ගොනුව තුල ඇතුලත් වී ඇති බැවිනි.
files, folders, compress කිරීමේදී Lossless සම්පීඩන ක්‍රමවේද භාවිතා කෙරේ. ඕනෑම වර්ගයේ ගොනුවක් සම්පීඩනය කිරීමට මේ ආකාරය යෝග්‍යවුවත් multimedia files සඳහා එතරම් යහපත් සම්පීඩනයක් බලාපොරොත්තුවිය නොහැක.

Lossless Compression මූලික ක්‍රමවේදයන්
    i. Run-length encoding
    ii. Burrows-Wheelar
    iii. Lempel-Ziv
    iv. Huffman coding
    v. PPM

නමුත් Lossy ක්‍රමවේදයකට සම්පීඩිත ගොනුවක් මගින් මුල් ගොනුව පෙරතිබූ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරගත නොහැකිය. මක්නිසාදයත් සම්පීඩන ක්‍රියාවලියේදී මුල් ගොනුවතුළ තිබූ දත්තයන් සමහරක් සම්පීඩිත ගොනුවට ඇතුල් කර නොගන්නා බැවිනි. මෙසේ ඉවතලන දත්තයන් නිසා මුල් ස්වරූපය නැවත ඒ අයුරින්ම නිර්මාණය කරගත නොහැකිවුවත් බෙහෙවින් සමීප ගොනුවක් නිර්මාණයකළ හැක.
Image files, Sound files, Video files සම්පීඩනය කිරීම සඳහා lossy ආකාරයේ සම්පීඩන ක්‍රමවේදයන් වඩාත් උචිත සහ සාර්ථකවේ.

Lossy Compression ක්‍රමවේදයන් බහුලව භාවිත වන ගොනු සඳහා උදාහරණ කීපයක් ලෙස JPEG, MP3, MPEG දැක්විය හැක.

Tuesday, March 6, 2012

Moblile World Congress 2012 වතගොත

මොබයිල් ලෝකයේ දැවැන්තම උළෙලක් වන Moblile World Congress (MWC) 2012 උත්සවය පසුගිය සතියේ පැවැත්වුණා. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දින 4ක් මුළුල්ලේ පැවති මෙම අති දැවැන්ත ප්‍රදර්ශනය සඳහා මොබයිල් ලෝකයේ දැවැන්තයින් ඇතුළු 60,000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයක් වාර්තාවුණා. මෙම ප්‍රදර්ශනයේදී බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වුණු සමාගම් කිහිපයක නවතම නිපැයුම් ගැන විස්තර කිහිපයකි මේ:

SAMSUNG
සැම්සන්ග් සමාගමේ නවතම ගැලැක්සි නෝට් ටැබ්ලටය වන Galaxy Note 10.1  මෙම ප්‍රදර්ශනයේ දී දක්නට ලැබුණි. Android 4.0 (Ice Cream Sandwich) මෙහෙයුම් පද්ධතිය සහිත මෙම ටැබ්ලටය සතුව 1.4GHz dual-core ප්‍රොසෙසරයක් ඇතුළත් විය. මෙගාපික්සල් 3ක පිටුපස කැමරාවක් හා මෙගාපික්සල් 2ක ඉදිරිපස කැමරාවකින්ද එය සමන්විත විය.

මෙයට අමතරව, සැම්සන්ග් සමාගම තම Galaxy Tab 2 පරම්පරාවේ අඟල් 7 සහ අඟල් 10 මාදිලියන් ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබිණ. ඉදිරි මාස කිහිපයක් ඇතුළත වෙළඳපළට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති මෙම Galaxy Tabs, ඩොලර් 420කට වැඩි වටිනාකමකින් යුක්ත වනු ඇත. Android 4.0 මෙහෙයුම් පද්ධතිය, 3G තාක්‍ෂණය හා 1GHz dual-core CPU එකකින් මෙම නවතම Galaxy Tabs සමන්විතවේ.

පැය 3ක කාලසීමාවක් මුළුල්ලේ 640x360 ප්‍රමාණයේ පින්තූර දර්ශනය කළහැකි ප්‍රොජෙක්ටරයක් සහිත Galaxy Beam මොබයිල් පරිගණකය ද සැම්සන්ග් සමාගම ඉදිරිපත් කර තිබිණ.

Nokia
Nokia සමාගම තම නවතම Asha smartphone මාදිලි 3ක් මෙම ප්‍රදර්ශනයට එක්කර තිබුණා. Asha 202, 203 හා 302 මෙම නවතම මාදිලි තුනයි.

Windows Phone Tango මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත Nokia Lumia 610 ජංගම දුරකථනය ද මෙම MWC 2012 ප්‍රදර්ශනයට එක්කර තිබුණි. Xbox Live පහසුකම, 800MHz Superdragon ප්‍රොසෙසරය හා LED Flasher එකක් සහිත 5MP කැමරාවකින් ද මෙම දුරකථනය සමන්විතයි.

මීට අමතරව 41MP කැමරාවකින් යුක්ත Nokia 808 දුරකථනය ද ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

HTC
HTC සමාගම මෙම MWC 2012 ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබුණේ HTC One පරම්පරාවයි. 2012 අ‍ප්‍රේල් මස සිට ලොව පුරා HTC One ජංගම දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට හිමිවන බව HTC සමාගම ප්‍රකාශයට පත්කළේය. අඟල් 4.7ක touch screen එකකින් හා 1.5GHz Quad Core ප්‍රොසෙසර් එකකින් සමන්විත One X මාදිලිය මෙන්ම, අඟල් 4.3 touch screen එකක් හා 1.5GHZ Dual Core ප්‍රොසෙසරයක් සහිත One S මාදිලිය ද ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව One V ජංගම දුරකථනය ද HTC සමාගම ඉදිරිපත් කළේය.

Sony Ericsson
Sony Ericsson සමාගම MWC 2012 ප්‍රදර්ශනය යොදාගත්තේ Sony Xperia P සහ Sony Xperia U ජංගම දුරකථන ඉදිරිපත් කිරීමටයි. Dual Core ප්‍රොසෙසර සහිත මෙම ජංගම දුරකථන දෙක බොහෝදුරට එකිනෙකට සමාන වුවත්, ඒවා සතු කැමරා සහ දර්ශන තිරයන්ගෙන් වෙනස්කම් දක්වයි. Xperia P සතුව 8MP හා 4" touch screen එකක් ඇති නමුත්, Xperia U සතුව ඇත්තේ 5MP කැමරාවක් හා 3.5" touch තිරයකි.

Sony Ericsson සමාගම තවමත් Quad Core ප්‍රොසෙසරයක් සහිත ද්‍රරකථනයක් ඉදිරිපත් කර නැතත්, එළැඹෙන 2013 වසරේදී එම ඉලක්කය සපුරාගැනීමට ඔවුන්ට හැකිවනු ඇති බව Sony Ericsson සමාගම ප්‍රකාශයට පත්කළේය.

Huawei
Huawei සමාගම MediaPad 10 නමින් අඟල් 10ක නවතම ටැබ්ලටයක් ඉදිරිපත් කළේය. ලොව ප්‍රථම Quad Core ටැබ්ලටය ලෙසින් හඳුන්වන මෙහි මෙහෙයුම් පද්ධතිය Android 4.0 සංස්කරණයයි.

LG
LG සමාගම MWC 2012 ප්‍රදර්ශනය සඳහා කාගේත් සිත් ආකර්ශනය කරගන්නා නිපැයුමක් ඉදිරිපත් කර තිබුණා. Optimus 3D Max නමින් ඉදිරිපත් කර තිබූ 1.3GHz Dual Core ප්‍රොසෙසරය හා 4.3" touch තිරයෙන් සමන්විත මෙහි විශේෂත්වය වූයේ එය සතු 3D දර්ශන හැකියාවයි. 3D කණ්ණාඩි පැළඳීමෙන් තොරව 3D පින්තූර, චිත්‍රපට මෙන්ම Google Earth වැනි apps ද භාවිතා කිරීමේ හැකියාව එය සතුයි.

මෙයට අමතරව LG සමාගම 1.5GHz Dual Core CPU එකක් සහිත 5" touch තිරයක් ඇති Optumus Vu smartphone එක ද ඉදිරිපත් කර තිබිණ.

Sunday, March 4, 2012

Megapixel 41ක කැමරාවක් සහිත Smartphone එකක් හඳුන්වාදෙයි


ලෝකයේ ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනයෙන් තුන්වන ස්ථානයේ පසුවන Nokia සමාගම තම සමාගම විසින් නොබෝදිනකින්ම වෙළඳපලට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන නවතම ස්මාර්ට්ෆෝනයක් ප්‍රකාශයට පත්කරයි. Nokia 808 PureView නමින් දැනට හැඳින්වෙන මෙම Smartphone එකෙහි සුවිශේෂි ගුණාංග අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවන්නේ එහි ඩිජිටල් කැමරාවයි. කැමරාවෙහි විශේෂ ගුණාංග 3ක් මේවනවිට ප්‍රකාශයට පත්ව තිබෙනවා. එනම්:


  • මෙගාපික්සල් 41ක ධාරිතාවකින්යුත් සෙන්සර්
  • Carl Zeiss ප්‍රකාශ තාක්‍ෂණය
  • නවතම  Pixel Oversampling තාක්‍ෂණයක්


Nokia 808 PureView ඇසුරින් ලබාගන්නා ඡායාරූපයන්හි ඇති සුවිශේෂී සත්‍යාසන්නභාවය පිටුපස ඇත්තේ 41MP සංවේදක අභිබවා එහි භාවිතවන නවතම Oversampling තාක්‍ෂණයයි. මෙම තාක්‍ෂණය අනුව කුමන මෙගාපික්සල් පරාසයක ඡායාරූපයක් වුවද සත්‍යාසන්නතාවයෙන් ඉතා ඉහළ මට්ටමක පවත්වාගතහැකි බව Nokia සමාගම ප්‍රකාශයටපත් කරනවා.

ස්මාර්ට්ෆෝනයේ අනෙක් ගතිගුණ ලෙස

  • අඟල් 4ක දෘශ්‍ය තිරය
  • Full HD 1080p වීඩියෝ තාක්ෂණයට සහායදැක්වීමේ හැකියාව
  • ඩොල්බි හෙඩ්ෆෝන් තාක්‍ෂණය
  • 1.3Ghz ප්‍රොසෙසරය
  • 512MB RAM මතකය
  • 16 GB built-in ස්ථාවර මතකය
  • මතක ප්‍රමාණය වැඩිකිරීම සඳහා microSD කාඩ් සඳහා අනුකූලතාව


දැක්විය හැකි අතර උපාංගය Symbian Belle මෙහෙයුම් පද්ධතිය පාදකකරගනිමින් ක්‍රියාත්මකවේ.

Nokia 808 PureView, 2012 වසරේ දෙවන කාර්තුව තුළ දී නිකුත්වනු ඇතැයි විශ්වාස කරන අතර යුරෝ 450ක මිලකට යුරෝපාකරයට මුලින්ම හඳුන්වාදීමට Nokia සමාගම බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත.


Pixel OverSampling ගැන කෙටි හැඳින්වීමක්
ඩිජිටල් පින්තූර නිරූපණය වන්නේ කුඩා කොටු ලෙස නිරූපණයවන පික්සල් වලින් බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඇත්තෙන්ම පින්තූරයක් කියන්නෙ පික්සල් සමූහයක්. පික්සලයකට තිබිය හැක්කේ එක් වර්ණයක් පමණයි. එක ලඟ ඇති පික්සල් දෙකක් ගැන සිතන්න.. මේ පික්සල් දෙකේ ඇත්තේ එකිනෙකට වෙනස් වර්ණ දෙකක් නම් ඒවා අතර තියුණු මායිමක් ලෙස පෙනෙනවා. මේ තත්වය Aliasing කියා හැඳින්වෙනවා.

නමුත් සැබෑ ලෝකයේ මෙවැනි තත්වයක් නෑ. ඒ නිසා සැබෑ ලෝකයේ යමක් ඩිජිටල් පින්තූරයක් ලෙස ගතතොත් කොහොමත් සත්‍ය තත්වය නිරූපණය වෙන්නේ නැහැ. ඉතින් මේ තත්වය හැකිතාක් දුරට වසන් කර වඩාත් සත්‍යාසන්න තත්වයකින් පින්තූර ඉදිරිපත් කරන්නයි Pixel Oversampling භාවිතාවන්නේ. මෙහිදී වන්නේ යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කර පික්සල් අතර මායිම් බොඳකිරීම වැනි දෙයක්. ඒකට කියන්නේ Anti-Aliasing කියලයි.

උදාහරණයක් ලෙස පහත පින්තූර පෙළ බලන්න.


Thursday, March 1, 2012

FACEBOOK වැහෙන කතාව - ඇත්ත නැත්ත


 2012 මාර්තු 15 (බ්‍රහස්පතින්දා) දිනෙන් මත්තට ෆේස්බුක් සමාජජාලය වසාදැමීමට එම සමාගම තීරණය කර ඇතැයි යන්න පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුනු කතාවකි. තමන් නිතිපතා භාවිත කරනු ලබන ෆේස්බුක් ජාලය හිටිහැටියේම වසාදැමෙන බව ඇසීමෙන් පුදුමයට හා කම්පාවටපත් පිරිස සුළුපටු නොවේ. මන්දයත් මිලියන 845 ඉක්මවූ ලොවපුරා ජනකායක් රොදබැඳ ෆේස්බුක් අඩවිය වෙත පිවිසීමට පුරුදු පුහුණු කරගෙන සිටින්නෝ බැවිනි. ෆේස්බුක් වසාදැමෙන බව ලොවම මවිත කරමින් ප්‍රකාශයට පත්කළේ "Weekly World News"(weeklyworldnews.com) නම් පුවත් වෙබ්අඩවියයි.

ෆේස්බුක් ජාලය පාලනය කිරීම අපහසු තත්වයකට පත්ව ඇති බවත්, එහි පරිපාලන කටයුතු හේතුවෙන් තමන් බලවත් පීඩනයකට පත්ව තිබෙන බවත්,

 එහි නිර්මාතෘ හා වත්මන් විධායක අධ්‍යක්‍ෂක වන මාක් සකර්බර්ග් කළ ප්‍රකාශයන් ලෙස උපුටා දක්වමින් Weekly World News අඩවිය ෆේස්බුක් ජාලය වසාදැමීමට නියමිත බව වාර්තා කළේය. සකර්බර්ග්ගෙන් කළ පුද්ගලික විමසීමකදී facebook වැසීමෙන් ලොවපුරා ජනතාවගේ ජීවිතවලට අයහපතකට වඩා යහපතක් සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශකළ බවත් ෆේස්බුක්හි තාක්‍ෂණික උපසභාපතිගෙන් කළ විමසීමකින් මාර්තු 15වන දින facebook වැසීයාම තහවුරු කරගත් බවත් මෙම පුවත් සේවය වාර්තාකර තිබේ.

ෆේස්බුක් සමාගම වැසීමට යන්නේනම් ඇමරිකානු කොටස් වෙළඳපලට එක්වූයේ මන්දැයි විශාල ප්‍රෙහෙලිකාවක් විය. අනෙක් අතට මේවන විට මාක් සකර්බර්ග්ට ඇත්තේ ෆේස්බුක්හි මුළු අයිතියෙන් 28.4% ක් පමණක් බව අමතක නොකළ යුතුයි. මේ අනුව Weekly World News පුවත පිළිබඳ දැඩි සැකයක් පහළවීම ස්වාභාවිකයි.

Weekly World News අඩවියෙහි මෑතකදී පළ කර ඇති පුවත් අතර පිටසක්වලජීවීන් පෘථීවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි මැයෙන්ද පුවතක් ද වේ. අනෙක්වා බොහොමයක ද විශ්වාසවන්තභාවයක් නොමැති බව තහවුරු වී ඇත. මේ අනුව මෙම පුවත් සේවයේ විශ්වාසවන්තභාවය පිළීබඳ අදහසක් ලබාගත හැක. ඒ බව සනාථ කරමින් පසුගිය පෙබරවාරි 10 වන දින ෆේස්බුක් සමාගම විසින් නිල ප්‍රකාශයක් නිකුත්කරමින් "ෆේස්බුක් සමාජජාලය වසාදැමීම පිළිබඳ කිසිඳු තීරණයක් ගෙන නොමැති" බව ප්‍රකාශයට පත්කෙරිණ.

ෆේස්බුක් සමාගම කොටස් වෙළඳපලට එක් වූයේ 2012 මුල් භාගයේයි. මෙතෙක් කොටස්වෙළඳපල තුලට එක්වෙමින් තම සාර්ථකත්වය ළඟාකරගත් පරිගණක තාක්‍ෂණ ප්‍රමුඛයා ලෙස සැලකෙන්නේ Apple සමාගමයි. මේ අනුව පැහැදිලි වනුයේ වසාදැමීමක් කෙසේවෙතත් ෆේස්බුක් සමාගම ඇපල් අඩිපාරේ යමින් තම ආධිපත්‍ය දිනෙන් දින පුළුල් කරමින් සිටින බව නොවේද?

පරිගණක සංකේතනාමයන් - X අකුරෙන්

X
සංකේතනාමය
තේරුම
සටහන
XAGXML Accessibility GuidelinesXML ඇසුරින් දත්ත නිරූපණයේදී සැලකියයුතු උපදෙස්මාලාවක්
XAMLeXtensible Application Markup Languageපරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන ලද භාෂාවකි. XMLට සමානතා දක්වයි
XDMX Window Display ManagerX Window පද්ධතියේ ස්ථාපිත display manager වැඩසටහන
XCBLXML Common Business Librarye-business සඳහා XML නිර්දේශන සමූහයකි
XHTMLeXtensible Hypertext Markup LanguageXML මත පදනම් වෙමින්   HTML හි වැඩිදියුණු කරනලද සංස්කරණයක්
XILPX Interactive ListProcX Window පද්ධතිය සඳහා List  Processor උපයෝගිතා යෙදුමකි
XMLeXtensible Markup Languageදත්ත නිරූපණය සඳහා භාවිතා වන ආකෘතියකි
XMMSX Multimedia SystemUNIX මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබාගත හැකි Audio player එකකි
XMPPeXtensible Messaging and Presence ProtocolXML මත පදනම් වූ සන්නිවේදන ප්‍රොටෝකෝල යෙදුමකි
XMSExtended Memory SpecificationIBM PC තුල extended memory භාවිතය පිළිබඳ නිර්දේශ
XNSXerox Network Systems (or Service)Xerox මගින් වැඩිදියුණු කරන ලද ප්‍රොටෝකෝල පද්ධතියකි
XPCross-Platformවිවිධවූ පරිගණක පද්ධති කීපයක් තුළ ක්‍රියාකළ හැකි බව
XPExtreme Programmingක්‍රමලේඛන ආකෘතියකි
XPCOMCross Platform Component Object ModelMozilla සමාගම විසින් විවිධ මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාකල හැකි පරිදි ඉදිරිපත් කරන ලද ක්‍රමලේඛන ආකෘතියකි
XPIXPInstallXUL මත පදනම්වූ මෘදුකාංග මත Addons ස්ථාපනය කිරීමේ තාක්‍ෂණයකි
XPIDLCross-Platform IDLපරිශීලක අතුරුමුහුණත්(user interface) නිර්මාණය සඳහා භාෂාරටාවකි. ක්‍රමලේඛන භාෂාවෙන් ස්වායත්නවේ.
XSLeXtensible Stylesheet LanguageXML ගොනු නිර්මාණය, රූපාන්තර කිරීමට භාවිතාවන මෘදුකාංග මෙසේ හඳුන්වයි
XSL-FOeXtensible Stylesheet Language Formatting ObjectsXML ගොනු ආකෘතිකරණයේදී යොදාගන්නා භාෂා ආකෘතියකි. PDF ගොනු නිමැවීමට බහුලව භාවිත වේ
XSLTeXtensible Stylesheet Language TransformationsXML ගොනු රූපාන්තර කිරීම සඳහා XML මත පදනම් වූ භාෂා
XSSCross-Site Scriptingවෙබ් ඇප්ලිකේෂන් එකක දුර්වලත්වයක් යොදාගනිමින් පරිශීලකයාගේ තොරතුරු සොරකම්කළ හැකි ක්‍රමයකි
XTFeXtensible Tag FrameworkXML සඳහා Mozilla විසින් යොදාගන්නා framework එකකි
XTFeXtended Triton FormatTriton Imaging සමාගම විසින් විවිධ මිනුම් දත්ත ගබඩාකිරීමට ඉදිරිපත් කරන ලද ගොනු ආකෘතියකි
XULXML User Interface LanguageMozilla සමාගම විසින් පරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා වැඩිදියුණු කරණ ලද භාෂාවකි
XVGAExtended Video Graphics Adapter1024 x 768 pixel දක්වා උපරිම resolution ලබාදිය හැකි display standard එකකි