ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Wednesday, May 9, 2012

DNSChanger Trojan - Full Report


අන්තර්ජාලයට සම්බන්ධවන පරිගණක අතුරින් ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ ජූලි 9 වන දින පටන් අන්තර්ජාල පහසුකම් ඇහිරී යනු ඇතැයි පසුගිය මාසයේ දී නිවේදනයට පත්කෙරුණා(මෙතනින් කියවන්න).  මේ පුවතත් සමග  dnschanger ට්‍රොජන් වැඩසටහන් නැවතත් අවධානය යොමුකරගැනීමට සමත්වී තිබෙනවා. මේ dnschanger සම්ප්‍රදායේ මූලාරම්භය හා පරිණාමය පිළිබඳවයි.


හැඳින්වීම

DNSChanger ලෙස හැඳින්වෙන්නේ ට්‍රොජන් වැඩසටහන් කාණ්ඩයකි. එහි නමින් හැඟවෙන පරිදි Domain Name Server/System පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට උත්සාහදරණ හානිකර මෘදුකාංග පෙළකි.

DNS ගැන යමක්

අන්තර්ජාලය භාවිතයේදී වෙබ් අවඩි සඳහා domain name භාවිතයට ගැනෙනවා. නමුත් ජාලය තුළ සත්‍යවශයෙන් භාවිත වන්නේ IP ලිපිනයන්ය. IP ලිපිනයන් මතක තබාගැනීමේ අපහසුව මගහරවා ගැනීමට ඩොමේන් නාම භාවිතයට ගැනෙනවා. DNS සේවාව මගින් කෙරෙනුයේ ඩොමේන් නාමයන්ට අදාල IP ලිපින ලබාදීමයි.

මූලාරම්භය

2003 වර්ෂයේ ඔක්තෝබර් මස 1 වන දා පෙර නොවූ අමුතුම ගණයේ ට්‍රොජන් වැඩසටහනක් සොයාගැනීමට ප්‍රතිවෛරස් මෘදුකාංග සමාගම් සමත්වුණා. QHosts-1 යනුවෙන් හැඳින්වුණු එය Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත පරිගණකවල මූලික DNS පද්ධතිය වන hosts ගොනුව(file) වෙනස්කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි.  වරක් ආසාදිතවූ පසු මින්පටන් පරිශීලකයන් යොමුකෙරෙන්නේ ව්‍යාජ වෙබ් අඩවිවලටය. ඒවායින් බොහෝමයක් Phishing ගණයේ වෙබ් අඩවි නිසා සත්‍ය වෙබ් අඩවිවල ස්වරූපය අනුවම සාදා ඇත්තේය. මෙම වෙබ් අඩවිවලට පරිශීලකයා ලබාදෙන රහස්‍ය තොරතුරු (username, password) phishing අඩවියේ නිර්මාපකයා ලබාගනී. විශේෂයෙන් banking sites, online payment sites වලට පරිශීලකයා ඇතුලත් කරන තොරතුරු දෙස ඔවුන් අවධානයෙන් සිටිති.

මෙවැනි නවතම සංකල්පයක් සමග කලඑළි දුටු QHosts ට්‍රොජන් වැඩසටහනට ගොදුරු වූ පරිගණක සංඛ්‍යාව දහසක් පමණ වන බව වාර්තාවුණි. පැතිරයාම එතරම් විශාල නොවුනත් නව හානිකර වැඩසටහන් සම්ප්‍රදායකට මුලපුරමින් QHosts-1 මර්දනයට පත්විය. ඉන්පටන් QHosts පරම්පරාවක්ම ආරම්භවිය. ඉන් QHosts-113 මෑතකදී සොයාගැනුණු සංස්කරණයකි.

දෙවන පරම්පරාව

පරිගණකයේ hosts ෆයිලය වෙනස් කිරීම වෙනුවට පරිගණකය යොදාගන්නා DNS සර්වරයේ සම්මත IP ලිපිනය වෙනුවට ව්‍යාජ DNS සර්වරයක IP ලිපිනය ස්ථාපනය කිරීමට සමත් Zlob නමැති ට්‍රොජන් වැඩසටහනක් 2005 වසරේ දී හමුවිය. පරිශීලකයාට වඩාත් නොදැනෙන ආකාරයකට පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලා කිරීමට එය සමත්විය.

තුන්වන පරම්පරාව

2008 ජූනි මාසයේදී McAfee සමාගම විසින් ශ්‍රේණියේ මීළඟ පුරුක හෙළිදරවු කරනු ලැබුවේය. DNSChanger.f ට්‍රොජන් වැඩසටහන මෙතෙක් පැවති පරම්පරාවන් මෙන් නොව: ආසාදිත පරිගණකයේ DNS පද්ධතිය විකෘති කිරීමට අමතරව එම පරිගණකය පිහිටි LAN ජාලයේ අනෙකුත් සියලු උපාංගද ගොදුරු කරගැනීමට ඉලක්කකරගත්තකි. ඒ සඳහා පරිගණක ජාලයේ local DNS(බොහෝවිට රවුටරය) පද්ධතිය වෙත ප්‍රවේශය ලබාගෙන එහි DNS settings වෙනස් කිරීමට උත්සාහ දරයි.

සිවුවන/නව පරම්පරාව

කිසිඳු settings වෙනස් කිරීමකින් තොරව එක් ආසාදිත පරිගණකයකින් මුලු ජාලයක්ම ගොදුරු කරගැනීමට සමත් Trojan.Flush.M නමැති හානිදායක වැඩසටහන 2011 දෙසැම්බරයේ දී Symantec සමාගම විසින් හඳුනාගැණින. ආසාදිත පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් ජාලය තුල ව්‍යාජ DHCP සර්වරයක් ලෙස ක්‍රියාකරමින් සෙසු පරිගණක ව්‍යාජ DNS සර්වරයක් වෙත යොමුකිරීමට එය සමත්.

මෙලෙස ව්‍යාජ වෙබ්අඩවිවෙත යොමුකෙරෙන සෙසු පරිගණකද එම ට්‍රොජන් වැඩසටහනෙන් පහසුවෙන් ආසාදනය වීමේ හැකියාව පවතිනවා. පරිගණක ආරක්ෂාව පිළිබඳ සමාගම් වලට අනුව මෙමගින් ඉහළම තර්ජනයක් ඇත්තේ Wi-Fi ජාලයන් වෙත සම්බන්ධවන පරිගණකවලටයි. මක්නිසාදයත් ජාලයට සම්බන්ධවන කුමන හෝ ආසාදිත පරිගණකයක් මගින් කිසිවෙකුටත් නොදැනී ජාලයේ සෙසු පරිගණක සියල්ලම නොමග යැවෙන නිසාය. එම ජාලය තුල තිබෙන මෙහෙයුම් පද්ධති කුමක් වූවත් මෙම ප්‍රහාරයට ගොදුරුවේ.

නිගමනය

මුදල් සෙවීමේ මගක් ලෙස විනාශකාරී වැඩසටහන් යොදාගැනීමෙන් ඉදිරියට තවතවත් හානිකර වැඩසටහන් අලුතින් නිර්මාණය වනු ඇත. එමෙන්ම ඒවා තාක්‍ෂණිකව වඩාත් දියුණු තත්වයකට පැමිණෙනු ඇත. ජාලකරණය ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් එක් පරිගණකයකට ආසාදනය වීමෙන් සම්පූර්ණ ජාලයම පාවාදීම බරපතල තත්වයකි. මෙවැනි තත්වයන් හමුවේ කාලයක් තිස්සේ නොයෙක්දෙනා සිහිනමැවූ වයර්ලස් නිදහස නොබෝදිනයක නපුරු සිහිනයක් වනු ඇත්තේය.

පිළියම

 ට්‍රොජන් වැඩසටහන් පරිගණක වෛරස මෙන් ව්‍යාප්ත නොවේ. බොහෝවිට ඒවා පැතිරෙන්නේ පරිගණක පරිශීලකයාගේ නොසැලකිලිමත් බවින් විශ්වාසවන්තභාවයෙන් අඩු මෘදුකාංග ක්‍රියාකිරීමෙදී නොදැනුවත්වම ස්ථාපනය වන වැඩසටහන් ලෙසිනි. විශ්වාසවන්ත මෘදුකාංග පමණක් භාවිතයෙන්, අවිශ්වාසවන්ත ‍වෙබ්අඩවි, Wi-Fi ජාල වෙත පිවිසීම වැළකීමෙන් සහ ජාලකරණය කළ පරිගණක තුළ නිරෝගිමත් තත්වයක් පවත්වාගෙන යාමෙන් dnschanger අවධානම බොහෝදුරට අවම කරගත හැක.


යම්කිසි අයුරකින් ඔබ ආසාදනයට ලක්වුවහොත් යාවත්කාලීන කරනලද ප්‍රතිවෛරස මෘදුකාංගයකින් ට්‍රොජන් වැඩසටහන ඉවත්කරගන්න. ඉන්පසු වෙනත් නිරෝගී පරිගණකයක් මගින් අදාල dnschanger වැඩසටහනෙන් කරන ලද වෙනස්කම් යථාතත්වයට පත්කිරීම සඳහා මෘදුකාංගයක් බාගතකර ඔබේ පරිගණකය තුළ ක්‍රියාත්මක කරවන්න. ඔබේ රවුටරයේ DNS සැකසුම පරික්‍ෂාකර නිවැරදි කරගන්න.

Tuesday, May 8, 2012

Operation Ghost Click සහ ජූලි 9

2012 ජූලි 9 වන දින පටන් අන්තර්ජාලය භාවිතයේදී විශාල දුෂ්කරතාවකට මුහුණදීමට ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ සිදුවන බව පසුගිය මාසයේ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්විය. වසර කීපයක් ඔස්සේ දිවයන ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය වන මෙහි සිදුවීම් පෙළ මෙසේය.

මීට වසර 5කට පමණ පෙර හැකර් කණ්ඩායමක් මුදල් සෙවීමේ අලුත් ක්‍රමයකට අතගැසුවේය. ඒ වෙබ් අඩවි තුල දැන්වීම් පළකර ඒවා වෙත පරිගණක පරිශීලකයන් බලහත්කාරයෙන් ගෙනඒමටය. ඒ සඳහා ලොවපුරා පරිගණක දහස්ගණනින් තම ග්‍රහණය නතුකරගැනීමට ඔවුන් DNSChanger පවුලේ trojan වැඩසටහන් නිර්මාණය කර වෙනත් මෘදුකාංග තුළ සඟවා වෙබ් අඩවි තුල පළ කර ලොව පුරා බෙදා හැරීය. ඒවායින් ආසාදනය වූ පරිගණකවල DNS පද්ධතිය වෙනස්කර ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ DNS server වෙත බිලීබාගත්තේය. මෙසේ ගොදුරුකරගත් පරිගණක ඉන්ඔබ්බට පිවිසෙන්නේ නිවැරදි වෙබ්අඩවි වලට නොව, දැන්වීම් පලකළ ව්‍යාජ වෙබ් අඩවිවලටය. නැත්නම් phishing අඩවිවලටය. මේ වෙබ්පිටු ඔස්සේ දැන්වීම් පෙන්වීමෙන් හා ඒවා Click කිරීමට පෙලඹවීමෙන් මේ හැකර් කණ්ඩායම ආදායම් ලැබූහ. වසර 5ක් තිස්සේ ඔවුන් මෙසේ පවත්වාගෙන ගිය සැලසුමෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14කටත් අධික බව වාර්තාවේ.

බලපෑමටපත් පරිගණක ඝනත්ව සිතියම
Windows  පරිගණක මෙන්ම Mac OSX පරිගණකද තම ජාලයට ඈඳා ගැනීමට ඔවුන් වෙනම ට්‍රොජන් වැඩසටහනක් ව්‍යාප්ත කළහ.


ඇමරිකානු අධිකරණයේ සහාය ඇතිව එරට FBI සමාගම විසින් ප්‍රතිවෛරස මෘදුකාංග සමාගමක් සමග "Operation Ghost Click" නමින් වසර 2ක් තිස්සේ පැවැත්වූ පරීක්‍ෂණ හා සෝදිසිකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස හොරරහසේ පවත්වාගෙන ගිය එම වංචනික DNS සර්වර් 2011 නොවැම්බර් 8 දින අත්අඩංගුවට ගැනීමට  FBI ආයතනයට හැකි වුණේය. ඒ ආමරිකාවේ චිකාගෝ හා නිව්යෝක් නගරවල කළ වැටලීම් වල ප්‍රතිඵලයක් ලෙසය. එහිදී එස්ටෝනියානු ජාතිකයින් හයදෙනෙක් සමගින් රුසියානු ජාතිකයෙක් මෙසේ අත්අඩංගුවට පත්වුණහ.

අත්අඩංගුවටගත් වංචනික DNS පද්ධති වසාදැමීමෙන්  ගොදුරුවී සිටි පරිගණක වෙත ලැබෙන DNS සේවාව අහිමිවීම වැළැක්වීම සඳහා ඒ ස්ථානයේ නිවැරදි DNS පද්ධතියක් ස්ථාපනය කිරීමට FBI සමාගම කටයුතු කලා. ඒ dnschanger වැඩසටහනට ගොදුරුවී සිටින පරිගණක යථාතත්වයට පත්කරගැනීමට අවකාශය හා කාලය ලබාදෙන තෙක් තාවකාලික සේවාවක් ලෙසිනි. එම තාවකාලික පද්ධතිය පසුගිය මාර්තු 8වන දින වසාදැමීමට නියමිතව තිබුන ද ඒ වන විටත් ලොවපුරා පරිගණක මිලියන භාගයක් පමණ යථාතත්වයට පත්කරගෙන නොතිබුණු හෙයින් වසාදැමීමේ දිනය ජූලි 9වන දින තෙක් කල් තැබුණා. එතෙක් එම DNS පද්ධතිය නඩත්තු කරනුයේ FBI ආයතනයේ මුදලින්ය. ඒ නිසා ජූලි 9වන දායින් පසු නැවත සලකාබැලීමක් කිසිසේත් නොකරන බවත් ඉන් පෙර තමතමන්ගේ පරිගණක යථාතත්වයට ගෙන ඒමට කටයුතු නොකළහොත් DNS සේවාව වසාදැමීමෙන් පසු සිදුවන විපාක වලට තම ආයතනය වග නොකියන බවත් FBI සමාගම අධිකරණයට පවසා ඇත.

සාමාන්‍ය ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතයෙන් dnschanger ට්‍රොජන් වැඩසටහන ඉවත්කරගත හැකි නමුත් ට්‍රොජන් වැඩසටහනෙන් පරිගණක මෙහෙයුම් පද්ධතියේ settings වල සිදුකළ වෙනස්කම් එමගින් යථාතත්වයට පත් කරගත නොහැකිය. එම settings යථාතත්වයට පත්කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම උපකාරක මෘදුකාංග ද වෙනම ලබාගැනීමට ඇත. ඔබගේ පද්ධතියේ DNS settings නිවැරදිදැයි පරික්‍ෂාකරගැනීම සඳහා http://dns-ok.us/ වෙබ් අඩවිය වෙන්කර ඇත. 

ඔබේ පරිගණකය ආසාදිත නම් එහි දැක්වෙන රූපසටහනෙහි පසුබිම රතු පැහැයෙන් දිස්වේ. ඔබේ පරිගණකය ආසාදිත යයි හැඟේනම් යාවත්කාලීන කරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගයකින් පරිගණකය scan කර trojan වැඩසටහන ඉවත්කරගැනීමෙන් අනතුරුව ඉහත http://www.dcwg.org/ වෙත ප්‍රවේශ වන්න. සියලු උපදෙස් පියවරෙන් පියවර එහි දක්වා ඇත.

Tuesday, May 1, 2012

Bluetooth කතන්දරය



 කියූ පමණින් ලොකු කුඩා සියළු දෙනාගේ සිහියට නැගෙන්නේ ජංගම දුරකථන දත්ත හුවමාරු කිරීම සදහා භාවිතා කරන රැහැන් රහිත මාධ්‍යයකි. නමුත් මෙම කියනා නාමය ක්‍රිස්තු වර්ෂ 958 දක්වා ඈත අතීතය හා සම්බන්ධ බව ඔබ දන්නවාද? 1994 වර්ෂයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැප් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8ක් අතර ගැටලුවකින් තොරව වයර්ලස් ආකාරයට දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් සොයාගන්නාලදී. එකල එය MC – link [Multicommunicator link] නම් විය. දැනට භාවිතා වන Bluetooth තාක්ෂණයේ ආරම්භය වන්නේ මෙම MC-link තාක්ෂණයෙනි.


Jaap HaartsonSvan Mattison
MC – link තාක්ෂණයට Bluetooth යන නම ලැබී ඇති ආකාරය අපූරුය.  ක්‍රිස්තු වර්ෂ 958දී ඩෙන්මාකයත් නොර්වේ රටේ කොටසකුත් පාලනය කල හෙරල්ඩ් බ්ලූටූත්(Herald Bluetooth) නම් රජවරයෙකු එකල එකිනෙකා අතර ගැටුම් ඇති කරගත් ගෝත්‍ර 8 ක් සමගි කිරීමට සමත් වුනි. මෙම MC –link තාක්ෂණයටද එකවර උපාංගයන් 8 ක් අතර ගැටලුවකින් තොරව දත්ත හුවමාරු කරන්නට හැකි වීම හේතුවෙන් එදා හෙරල්ඩ් බ්ලූටූත් රජුට ගෝත්‍ර 8ක් සමගි කරන්නට පුළුවන් වූවා සේ මෙම MC -link තාක්ෂණයට විවිධ විද්‍යුත් උපාංග 8 ක් සමගි කරන්නට හැකි වීම නිසා මෙම MC –link තාක්ෂණය හෙරල්ඩ් බ්ලූටූත් රජුගේ කතාව පාදක කරගනිමින් Bluetooth යනුවෙන් නම්කෙරිනි. බ්ලූටූත් සංකේතය පවා නිර්මෘණය කෙරුනේ හෙරල්ඩ් බ්ලූටූත් ගේ නමේ මුල් අකුරු රූනික් අක්ෂරමාලාව ඇසුරින් නිරූපණය කර එක් කිරීමෙනි.



Bluetooth තාක්ෂණය සමහරක් වයර්ලස් තාක්ෂණයන්ගෙන් වෙනස් වන්නේ මෙම තාක්ෂණයට පෙර සදහන් කල පරිදිම එකවර විවිධ උපාංග 8 ක් අතර දත්ත හුවමාරු කරන්නට හැකිවීමත්, IR (අධොරක්ත) වලදී මෙන් උපාංග කිට්ටු කර එක එල්ලේ තැබීම අනවශ්‍ය නිසාත්, මීටර සියයක පමණ වපසරියක් ඇතුලත ඹ්නෑම තැනක ඇති උපාංගයක් සමග අනෙක් උපාංගයට පහසුවෙන් සම්බන්ධ වීමට හැකි වීමත්, අඩු බල රේඩ්යෝ තරංග දත්ත සම්ප්‍රේශණය සදහා යොදා ගැනීමත් සහ අඩු බලශක්තියක් වැය කරමින් ප්‍රයෝජන ගන්නට හැකි වීමත් නිසාය.


Bluetooth තාක්ෂණයේදී යොදාගන්නේ 1 mW සිට 100 mW දක්වා වන ශක්ති වැය වීමක රේඩියෝ තරංගයන්ය. එය දුරකථන ඇමතුමකදී භාවිතා කරන 1W සිට 3W ශක්තියට වඩා 1000-3000 ගුණයක අඩු ප්‍රබලත්වයකි. Bluetooth ප්‍රබලතාව අනුව ජව කාණ්ඩ තුනක් හඳුන්වාදී ඇත.


කාණ්ඩය
සංඥා ප්‍රබලතාව
ආවරණය
Class 1
100mW
20dBm
100m
Class 2
2.5mW
4dBm
10m
Class 3
1mW
0dBm
1m

ජාලකරණය සහා භාවිතාවන අනෙකුත් බොහෝ රැහැන් රහිත රේඩියෝ සම්ප්‍රේෂණ තාක්‍ෂණ මෙන්ම Bluetooth තාක්ෂණයද සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නේ ISM(Industrial Scientific Medical) රේඩියෝ තරංග කලාපයයි. මන්දයත් බොහෝරටවල බලපත් රහිතව භාවිත කළහැකි රේඩියෝ තරංග කලාපයක් වන බැවිනි. Bluetooth සන්නිවේදනයේදී FHSS [Frequency Hopping Spread Spectrum] තාක්ෂණය භාවිතයට ගැනේ. ඒ අනුව 2.4Ghz කලාපය තුල වෙන්කරගත් 1Mhz බැගින් වූ සංඛ්‍යාත නාලිකා 79ක් නිර්මාණය කර ඒවා අතර මාරු වෙමින් සන්නිවේදනය සිදුකෙරේ. මෙහිදී තත්පරයක් තුලදී 800වතාවක් නාලිකා අතර මාරුවෙනු ලැබේ. එමගින් එකම ප්‍රදේශයක පිහිටි විවිධ Bluetooth උපාංග අතර සන්නිවේදනයන් එකිනෙක බාධාවීමේ හැකියාව අවම කර ඇත. එමෙන්ම තෙවන පාර්ශවයකට මෙම සන්නිවේදනය වන තොරතුරු අහුලාගැනීමේ හැකියාවද අවම වී යයි.
මේ වන විට Bluetooth තාක්ෂණයේ සංස්කරණ 4ක් හඳුන්වා දී ඇත. දත්ත හුවමාරු වන වේගය පාරිසරික සාධක මෙන්ම භාවිතකෙරෙන Bluetooth සංස්කරණය මත ද රඳාපවතී. 1994 වර්ෂයේදී පැමිණි Bluetooth 1.0 සංස්කරණයේදී ලබාගත හැකි උපරිම දත්ත හුවමාරු වේගය 1 Mbps වුණි. 2004 වර්ෂයේදී පැමිණි Bluetooth 2.0 සංස්කරණයේදී එය 3 Mbps විය. 2009 දී පැමිණි Bluetooth 3.0 හි උපරිම දත්ත හුවමාරු වේගය 480 Mbps වේ. නවතම සංස්කරණය Bluetooth 4.0ය.


වර්තමානයේදී PAN(Personal Area Network) ජාල ගොඩනැගිමේදී Bluetooth තාක්ෂණය බහුලව භාවිතයට ගැනේ. Bluetooth හි මූලික අරමුණ වනුයේ ජංගම උපාංග අතර ජාලකරණයයි. ඒ අනුව එය සැලසුම්කර ඇත්තේ එම උපාංග වලට දැරිය හැකි තත්ව යටතේ ක්‍රියාකිරීමටයි. එනම් අඩු බලයකින් දිගු වේලාවක් වැඩි දත්ත ප්‍රමාණයක් සන්නිවේදනය කිරීමට අවකාශ සැලසීමයි. ඒ අනුව Bluetooth යනු WiFi වැනි ජවසම්පන්න සන්නිවේදන තාක්ෂනණයන්ට කිසිලෙසකින්වත් විකල්ප තාක්ෂණයක් නොවන බව මතකතබාගැනීම වටී.


Bluetooth සඳහා IEEE(Institute of Electrical and Electronic Engineering ) ආයතනයේ ප්‍රමිතිකරණය IEEE 802.15.1 වේ. Bluetooth තාක්ෂණය දියුණු කරමින් එහි අනාගතය ගැන තීරණය ගන්නේ Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා සමාගම් වලින් ලැබෙන ආධාර මුදලින් යැපෙන, ලාභ නොලබන ආයතනයක් වන Bluetooth Special Interest Group ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනය Ericsson, IBM, Intel, Nokia සහ Toshiba යන සමාගම් විසින් පිහිටවනු ලැබුණි. මේ වන විට මෙම SIG ආයතනය සමග සම්බන්ධව Bluetooth තාක්ෂණයෙන් වැඩගන්නා සමාගම් ගණන 16000 කටත් අධිකය.