ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Wednesday, November 7, 2012

Data Compression - Run Length Encoding


RLE (Run Length Encoding) Algorithm
මතකනේ මීට කලින් අපි දත්ත සම්පීඩනය හා අසම්පීඩනය පිළිබදව සරලව කතාකලා. ඒ වගේම Data compression මූලික වර්ගීකරණය හා ක්‍රමවේදයන් පිළිබඳවත් සුළු සඳහන් කිරීමක් කලා. ඒ ලිපි කීපයට ලැබුණු ප්‍රතිචාර නිසාම අපි තීරණය කලා මේ ක්‍ෂේත්‍රය ගැන විස්තර පළකිරීම කීපදෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වේවි කියලා.

මෙම ලිපියෙහි අරමුණවන්නේ Data compression සඳහා යොදාගන්නා සරලතම ඇල්ගොරිතමයක් වන RLE(Run length encoding) පිළිබඳ උදාහරණ ඇසුරෙන් සාකච්ඡාකිරීමයි.

නමින් හැඟවෙන පරිදිම "ගොනුවක(file එකක) දත්තයන්, රටාවන් ලෙස කෙතරම් දුරකට දිවයන්නේද යන්න නිරූපණය කිරීමෙන් ගොනුවේ එකිනෙක ආසන්නයේ නැවත නැවත යෙදෙන රටාවන් සම්පීඩනය කිරීම" මෙම ඇල්ගොරිතමෙහි අරමුණයි.


1. උදාහරණය aaaaaaaaAAAA යන දත්ත ගොනුවේ යෙදී ඇති රටාව නිරීක්ෂණය කරන්න. එහි එකිනෙක ළඟින් පිහිටි “a” අක්ෂර 8කුත් “A” අක්ෂර 4කුත් දැකිය හැක. ඒ අනුව එය අක්ෂර 12ක විශාලත්වයෙන් යුතු ගොනුවකි. Runlength සම්පීඩනයට අනුව මෙම රටාව සංක්ෂිප්ත කොට a8A4 යනුවෙන් අක්ෂර 4කින් නිරූපණය කළහැක. මෙම සම්පීඩිත ගොනුව අසම්පීඩනය කිරීමෙන් නැවත මුල් ගොනුව ප්‍රතිනිර්මාණය කරගතහැක.

තවත් උදාහරණයක් සලකා බලමු.


2. aaabaaaaAAAA
මෙම දත්ත ගොනුවේදී එකම අක්ෂරය ළඟ ළඟ යෙදෙන රටාවට “b” අකුරකින් බාධා වී ඇති බව නිරීක්ෂණය කරන්න.

සරල runlength නිරූපණය = a3b1a4A4
තනි "b" අක්‍ෂරය නිරූපණය කිරීමට අක්ෂර දෙකකුත් "a" අක්‍ෂර පන්ති දෙකක් ඇති බැවින් ඒ වෙනුවෙන් අක්ෂර 4කුත් යොදාගැනීමට සිදුවී ඇත. පෙර උදාහරණය හා සසඳන විට දැකිය හැක්කේ එක් අක්‍ෂරයක වෙනසක් පමණක් වුවත් එමගින් දත්ත රටාවේ ගලායාමට ඇතිවූ බාධාවේ ප්‍රතිඵලයක් ලෙස පෙර උදාහරණයට සාපේක්‍ෂව සම්පීඩිත ගොනුව තරමක් විශාලවී ඇත.


3. උදා: aAaAaAaAaA
මෙම ගොනුව තුළද එකළඟින් යෙදෙන රටාවක් දැකිය හැක. නමුත් කලින්මෙන් එක් අක්ෂරය බැගින් සලකා runlength නිරූපණය කළහොත් ලැබෙනුයේ අක්ෂර 20කින් සමන්විත ගොනුවකි;
a1A1a1A1a1A1a1A1a1A1
එය මුල්ගොනුව මෙන් දෙගුණයක් විශාලය. එබැවින් මෙම නිරූපණය දත්ත සම්පීඩනයට උචිත නොවේ.

නමුත් මෙම ගොනුව සඳහා අක්ෂර 2 බැගින් සලකා runlength නිරූපණය කිරීමෙන්;
aA5
අක්ෂර 3ක ගොනුවක් නිර්මාණය කරගැනීමට හැකි බව පෙනේ.


දෝෂ නිරාකරණය

සරල බව හේතුවෙන්ම encoding(කේතාංකණ) ක්‍රියාවලිය හා decoding(විකේතන) ක්‍රියාවලිය මුහුණපෑ හැකි විශේෂ අවස්ථා කීපයක් සලකාබලමු.

4. උදා: මුල් ගොනුව තුල අනුයාතව "7" ඉලක්කම් 10කුත් "1" ඉලක්කම් 11කුත් සහිත උදාහරණයක් සලකමු.

File= 7777777777111111111111
කේතාංකණය මගින්

encoded file= 710111

ලෙස කුඩා ගොනුවක් නිර්මාණයකරගත හැකිවුවත් එම නිරූපණය වැරදි ලෙස විකේතනය වියහැක.
decoded file= 701


5. උදා: අක්‍ෂර දෙක බැගින් සලකා කරන ලද කේතාංකණයක් තනි අක්ෂරය බැගින් විකේතනය කිරීමේදී

file= 55555566

අක්ෂර දෙක බැගින් සැලකූවිට
encoded file= 553661

අක්ෂර 1 බැගින් යයි සලකා අසම්පීඩනය කළහොත්
decoded file= 555553333336

මෙවැනි පැටලැවීම් මඟහරවා ගැනීමට encoded ගොනුව නියමිත ආකෘතියකට ගොඩනැගිය යුතුය.
දත්ත රටාව  සඳහා අක්‍ෂර ස්ථාන කීයක් වෙන්කල යුතුද, යෙදී ඇති වාර ගණන දැක්වීමට ස්ථාන කීයක් වෙන්කල යුතුද යන්න එමගින් තීරණය කල යුතුය. 4 උදාහරණයේදී නම් රටාව සඳහා එක් අකුරක්ද වාර ගණන(සංඛ්‍යාතය) සඳහා ස්ථාන දෙකක්ද වෙන්වන බව ඩිකෝඩරය දැනසිටියේ නම් ගැටලුවක් නොවේ. එසේත් නැතිනම් එන්කෝඩරය මගින් රටාවට එක් ස්ථානයක්ද සංඛ්‍යාතයටද එක් ස්ථානයක්ද බැගින් වෙන්කලේනම්;
encoded file=79711912
එවිටද ගැටලුවක් නොවනු ඇත.

නිගමනය

  • දත්ත සම්පීඩනය සඳහා යොදාගත හැකි සරලතම ක්‍රමවේදයක් ලෙස Run Length encoding ඇල්ගොරිතම දැක්විය හැක.
  • දත්ත ගොනුව තුළ දැකිය හැකි රටාවන් වඩාත් හොඳින් සම්පීඩන වන පරිදි runlength යෙදිය හැකි ආකාර සලකා බැලිය හැක. එක් අක්ෂතරය බැගින් (bit 8 බැගින්), bit 16 බැගින්, bit 4 බැගින්
  • එන්කෝඩරය මගින් ගොඩනගනුලබන ගොනුව ඩිකෝඩරයට පැහැදිලිව තේරුම්ගත හැකි පරිදි ආකෘතිගත කල යුතුය.
බිටු 4 බැගින් සලකා RL Encoded උදාහරණයක්
(ද්විමය පාදයෙන් දක්වා ඇත)

  • දත්ත ගොනුව තුළ ළඟළඟ යෙදෙන රටාවන් සැලකිය යුතු ප්‍රමාණයක් නොවන විට run length encoding භාවිතයෙන් සම්පීඩනයක් ඇතිකරගත නොහැක.

  එමනිසා බොහෝ අවස්ථාවන්හිදී run length උචිත නොවේ. ප්‍රායෝගික භාවිතයේදී මූලික සම්පීඩන ක්‍රමවේදයකට වඩා වෙනත් ඇල්ගොරිතම ශක්තිමත් කරන උපාංගයක් ලෙස runlength ඇල්ගොරිතම භාවිතයට ගැනේ.

අමතර සටහන

පැහැදිලි කිරීමේ සහ අවබෝධ කරගැනීමේ පහසුව සඳහා "අක්‍ෂර", "අංක" ලෙස සඳහන් කර ඇත. ප්‍රායෝගිකව ඒවා සංඛ්‍යාත්කම(numeric/ හෝ ASCII) බව සලකන්න. 

ගැටලු/අදහස් තියෙනවනම් Comment කරන්ඩ අමතකකරන්ඩ එපා.

Thursday, November 1, 2012

ඉතින් ආයුබොවන් Google Knol ගරු


2007 දෙසැම්බර් 13 දින ගූගල් සමාගම විශ්වකෝෂීය සංස්කරණයක් ප්‍රකාශයට පත්කලේය. ඒ Google Knol නමිනි. අන්තර්ජාලයේ අන්තර්ගතය පුළුල්කිරීමේ අරමුණින් තමන් මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පියවර ගත් බවට ගූගල් සමාගම ප්‍රකාශයට පත්කල ද එය සාධාරණිය කිරීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ ඒ වනවිට විකිපීඩියාව වැනි ඕනෑම කෙනෙකුට විවෘත විශ්වකෝෂයක් වර්ධනයවෙමින් පැවති බැවිනි. Google සමාගම තමන්ගේම කියා විවෘත විශ්වකෝෂයකට අරඇදීමට සූදානම්වන බවත් එමගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව Wikipedia මරුවෙකු නිර්මාණයවන බවත් විචාරකයන් පෙන්වාදුන්හ. නමුත් ගූගල් සමාගම තම ස්ථාවරය ප්‍රකාශකරමින් කියාසිටියේ තම සමාගම Wikipediaව සමග ඉතා සුහදව කටයුතු කරන බවත් එහි දියුණුව පිළිබඳ සතුටුවන අතර ගූගල් නොල් මගින් ඊට කිසිඳු බාධාවක් හෝ තර්ජනයක් ඇති නොවන බවත්ය.


එය කෙසේවුවත් Wikipedia නාමයේ භාරකාරකත්වය දරණ Wikimedia Foundation ප්‍රකාශයක් නිකුත්කරමින් කියාසිටියේ අන්තර්ජාලයේ විවෘත අන්තර්ගතය වැඩිවන තරමට ලෝකයට හොඳ බව තමන් විශ්වාස කරන බවයි.


knol යන යෙදුම යොදනුයේ දැනුමෙහි තැනුම් ඒකකය යන අරුතිනි

-Google

Google Knol හා Wikipedia අතර දැකිය හැකි පැහැදිලි වෙනස්කම් කීපයක් විය.

  1.  ලිපි පිළිබඳ මධ්‍යස්ථභාවයක් හෝ මූලාශ්‍ර සහිතව සාධාරණියකරණයකිරීමක් අවශ්‍ය නොවීම
  2.  ව්‍යාපාර, නිෂ්පාදන, සේවා ආදියට අනුග්‍රහය දක්වන ලිපි අනුමත කර තිබීම.
  3.  Google Knolතුලදී ලිපියක් ආරම්භකරන මුල්තැනැත්තාට අවශ්‍යනම් එම ලිපියේ සම්පූර්ණ අයිතිය හෝ අයිතියෙන් කොටසක් තමන්සතුව තබාගැනීමේ හැකියාව.
  4.  තමන් ආරම්භකළ ලිපිය වෙනත් අයට වෙනස්කිරීමට නොහැකි පරිදි නිර්මාණය කළ හැකිවීම.
  5.  තම ලිපි තුල වෙළඳදැන්වීම්(Google Adsense) ඇතුලත් කිරීමෙන් ආදායම් උපයාගැනීමට අවසරය.
  6.  එකම මාතෘකාව පිළිබඳ වුවද විවිධ ලේඛකයන් අතින් නිර්මාණයවුණු ලිපි.


මේ නිසා විකිපීඩියාවට කෙසේවෙතත් about.com, squidoo, hubpages වැනි වානිජමය අඩවිවලට සැලකියයුතු බලපෑමක් එල්ලවන බව සමහරෙක්ගේ මතයවිය.

Knol ප්‍රථමවරට මහජනයාට විවෘතවූයේ බීටා(beta) සංස්කරණයක් ලෙසින් 2008 ජූලි 23 දිනදීය. මාස හයක් පමණ ගතවත විට (එනම් 2009 ජනවාරි මස වනවිට) ලිපි 100,000 සීමාවට ලඟාවීමට ගූගල් නොල් සමත්විය. නමුත් අනුගමනය කරන ලද තරමක් ලිහිල් ප්‍රතිපත්ති යටතේ විවිධ අපහසුතාවන්ට මුහුණදීමට Google Knolට සිදුවිය. ප්‍රචාරණ කටයුතු, ස්පෑම් සඳහා නොල් යොදාගැනීම මෙන්ම පක්‍ෂපාතීත්වය, පුද්ගල මතවාද, විශ්වාසවන්තභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් එය මඩගොහොරුවක් බවට පත්ව ඇති බව සමහරෙක් කියා සිටියහ.

මහජනයා විසින් එක්කරනලද ලිපිවලට අමතරව විවිධ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයන් අතින් නිමවූ සවිස්තරාත්මක ලිපි එක්කිරීමටද ගූගල් සමාගම පියවරගෙන තිබුණු අතර Knol ලිපි කෙරෙහි පක්‍ෂපාතීත්වය දැක්වීම නිසා Google සමාගමට නොයෙක් අප්‍රසාද පළවිනි.


කාලය ගතවෙත්ම අපේක්‍ෂා කල පරිදි දෙපයින් නැගී සිටීමට නොල් අපොහොසත්වී ඇති බව පෙනීයන්නට විය. ඒ අනුව 2011 නොවැම්බර් මස වනවිට ගූගල් සමාගම නොල් නවතාදැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්කල අතර 2012 අප්‍රේල් මස 23 දින ගූගල් නොල් වසාදැමිණ. ලේඛකයන්ට තමතමන්ගේ නොල් ලිපි ලබාගැනීමට පසුගිය ඔක්තෝබර් 1 දින දක්වා අවකාශවෙන්කර තිබුණු අතර ඉන්පසු සියලු නොල් ලිපි ලේඛන අන්තර්ජාලයෙන් මකාදමනු ලැබීය. ලේඛකයන් තම ලිපි නැවත පලකිරීමට බලාපොරොත්තු වන්නේ නම් Annotum අඩවියට යොමුකිරීමට නිර්දේශ කර තිබිණ.

මෙයින් පෙනෙන්නේ දඩයම්කරු දඩයමක් වූ බව නොවේ ද

Wednesday, July 18, 2012

Google Drive ගැන යමක්



ගූගල් සමගම විසින් අලුතෙන්ම හඳුන්වා දෙන තොරතුරු ගබඩා කිරීමේ සේවාව Google Drive වේ. මෙහි ෆයිල් ගබඩා කර තබන්නේ ක්ලවුඩ් (cloud) ක්‍රමයටයි. එම තොරතුරු වෙනත් සේවාවක් හා සම්බන්ඳ වන්නේ සින්ක් (sync) ක්‍රමයටය. මෙහිදී 5GB ධාරිතාවයක් නොමිලේ සැපයෙන අතර ඊට වඩා වැඩි ඉඩක් අවශ්‍ය වේ නම් මුදල් ගෙවා ලබා ගත යුතුය. Google Drive සේවයෙන් ප්‍රයෝජන ගැනීමට පෙර මෙයට අදාල මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපිත කරගත යුතුය.  


මෙයට අදාල වැඩසටහන Download කරගැනීම සඳහා drive.google.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. එම වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති sign in නම් බට්න් එක ක්ලික් කල යුතුය. මෙහිදී  sign  in වීම සඳහා Google Account එකක් තිබීම අනිවාර්ය වේ. එහිදී sing in වීමෙන් අනතුරුව විවෘත වන පිටුවේ Download Google Drive for PC නමින් ඇති button එක මත ක්ලික් කිරීමේන් පසු Google Drive වැඩසටහන පරිගනකයට Download වීම ආරම්භ වේ. එය සම්පූර්ණ වීමෙන් පසු Google Drive වැඩසටහන පරිගනකය තුල ස්ථාපිත කරගත හැකිය. එය ඉන්ස්ට්‍රෝල් කල පසු විවෘත වන්නේ Sign  in to Google Drive නම් බොක්ස් එකයි. මෙයට ඔබ ඉහත ලබා දුන් G-mail ලිපිනය(Google Drive ඩවුන්ලෝඩ් කරන අවස්ථාවේදී) හා Password එක නිවැරදිව ලබා දුන් පසු Google Drive වෙත ඇතුලු විය හැකිය. එහිදී පළමුවෙන්ම විවෘත වන්නේ Getting Started නම් බොක්ස් එකයි. මෙහි ඉදිරි පියවරට යොමුවීම සඳහා ක්ලික් කරීමෙන් අනතුරුව ඊළග පිටුවේ ඇති Start sync නම් බට්න් එක ක්ලික් කිරීමෙන් පසු මෙහෙයුම් පද්ධතියේ ඇති Document ෆෝල්ඩරය තුල Google Drive නමින් ෆෝල්ඩර එකක් සැකසෙනු ඇත. මෙහි Short cut එකක් Desktop එක වෙතද ලැබෙනු ඇත. මෙම ෆෝල්ඩර් එක Sync ෆෝල්ඩර් එකකි. මේ නිසා මේ තුලට ඇතුලත් කරන ෆයිල් ඉන්ටර්නෙට් සබඳතාව ඇතිවිට මෙන්ම නැති විටත් භාවිතා කිරීමට පුළුවන. මෙම Sync ‍‍ෆෝල්ඩර් එක වෙත ෆයිල් එකක් කොපි කළහොත් එය මුලින් ලබා දුන් ගූගල් ලිපිනය හා සබැදි Google Drive එක වෙත Upload වේ. මෙහිදී මෙම ෆයිල් එක සංස්කරණය කරන වාරයක් පාසා, එම තෙරතුරු Google Drive වෙත Upload වේ. මෙම සංස්කරණයන් සිදු කරන්නේ ඕෆ්ලයින් ක්‍රමයට වුවද පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ වූ විගසම එම සංස්කරණයන් Google Drive වෙත අප්ලෝඩ් වේ. මෙම සියළු අප්ලෝඩ් වීම් සියල්ල දැකබලාගත හැකි අයිකනයක්ද මේ සමග සපයා තිබේ. ඔබ වෙනත් පරිගනකයක Google Drive ස්ථාපන කර ඔබ ඔබේ Google Drive account එක වෙත ලබා දී ඇති G-mail ලිපිනය භාවිතා කර ලෙග් වූ විට ඔබ Google Drive වෙත මේ තාක් කලක් අප්ලෝඩ් කල සියළුම දත්ත දැන් මෙම පරිගනකය තුලද දැකගත හැක. එමෙන්ම ඒවා Edit කර නැවත Google Drive එක වෙත අප්ලෝඩ් කල හැක. ඔබට ආගන්තුක පරිගනකයක් තුල Google Drive ස්ථාපිත කරගත නොහැකිනම් ඔබට Google Drive වෙත පිවිසිය යුත්තේ අන්තර්ජාලය හරහාය. ඒ සදහා drive.google.com යන වෙබ් ලිපිනයට පිවිස ගූගල් එකවුන්ට් එක වෙත sign  in වීමෙන් තමන්ගේ Google Drive එකවුන්ට් එක තුලට ඇතුලු විය හැක.එවිට ඔබ අප්ලෝඩ් කල ෆයිල් එය තුල දැකගත හැක. එම ෆයිල් ෆෝමැට් එක ගූගල් සහය දක්වයි නම් එය ක්ලික් කර විවෘත කර බැලිය හැකිය. ගූගල් සමාගමේ මෙම නවතම හදුන්වාදීම ඔබත් අත්හදා බලන්න. 5GB අකාරයේ Pen Drive එකක් ලෙස මෙය ඔබට දැනෙනු ඇත.

Monday, June 11, 2012

Twitter කුරුල්ලා අලුත් වෙයි!

ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter පසුගියදා තම නිල ලාංඡනය වන ‘ලැරී‘ කුරුල්ලා සංශෝධනයකට ලක්කළේය. 2006 මාර්තු මස ආරම්භවුණු ට්විටර් ලැරී කුරුල්ලා හඳුන්වා දුන්නේ 2010 වසරේ දීය. ට්විටර් ලොවපුරා මිලියන 140ක පමණ පිරිසක් අතර ප්‍රචලිත වූයේ ඒ හුරුබුහුටි කුරුල්ලාත් සමගය. හිටිහැටියේම මෙසේ ට්විටර් කුරුල්ලා වෙනස් කිරීමට හේතුව ලෙස Twitterහි නිර්මාණ අධ්‍යක්‍ෂධූරය දරණ ඩෆ් බෝමන් ප්‍රකාශ කර සිටියේ- ට්විටර් හි නිලලාංඡනය වඩාත් සරල කිරීමේ අවශ්‍යතාවක් වූ බවයි.
"Larry was fatter, flew straighter, and had a tuft of hair on his head." (අපි ලැරී කිව්වෙ මහත, කෙළින් පියාඹපු, පොඩි කොණ්ඩයක් තිබ්බ කුරුල්ලෙක්ට)

"Larry the bird is now Larry the bald!" (ලැරී කුරුල්ලා දැන් තට්ට ලැරී!!) 
newmediarockstars අඩවිය අදහස් දැක්වීය.


‘අහසේ පියඹා යන කුරුල්ලා යනු අසීමිත නිදහසේ සංකේතයයි. ට්විටර්හි අරමුණ ලෝකප්‍රජාවට නිදහස උරුමකිරීමයි‘ - නව ලාංඡනය එළිදැක්වීමට සමගාමීව Twitter ප්‍රකාශයට පත්කළේය.




අසීමිත නිදහස කෙසේවෙතත් තවදුරටත් ට්විටර් ලාංඡනය නිදහසේ භාවිතාකිරීමට අවකාශ නැත. Twitter නිරූපණය කිරීමට මෙතෙක් යොදාගත් පැරණි ලැරී කුරුල්ලා, "twitter" වචනය හෝ "t" අක්‍ෂරය වෙනුවට නව ලැරී කුරුල්ලා පමණක් භාවිත කරන ලෙස Twitter නිවේදනය කළේය(Link). එමෙන්ම එහි පාට වෙනස්කිරීම, හැඩවැඩකිරීම, කැරකවීම, සජීවිකරණය කිරීම ආදිය කිසිවිටකත් නොකල යුතුවේ.




"Twitter කියන්නෙ ලැරී කුරුල්ලටයි. ලැරී කුරුල්ලා කියන්නෙ Twitter වලටයි. මේ දෙකේ කිසිම වෙනසක් මින්පසු නැහැ. ඒ නිසා ට්විටර් සලකුණ විකෘති කිරීම, වැරදි ලෙස භාවිතය නීතිමය වශයෙන් බරපතල වරදක්. ඒ නිසයි නව ට්විටර් සංකේතය භාවිත කළ/නොකළ යුතු ආකාර පිළිබඳ අපි ජනතාව දැනුවත් කරන්නෙ" - ඩෆ් බෝමන් මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.


නව සලකුණ එළිදැක්වීමත් සමග ඒ පිළිබඳ බොහෝ විවේචන එල්ල වුණා. "නව Twitter සලකුණ අංශක 90කින් කැරකවූ විට පෙනෙන්නේ ට්විටර් නොව; Batman, Sonic වැනි සලකුණු" යන්න මහත් ප්‍රසිද්ධියක් අත් කරගත්තා(ඉහත රූපපෙළින් දෙවැන්න නරඹන්න).


කෙසේවුවත් ට්විටර් දැන් වැඩුණු ආයතනයක් බව දැනවීමට මේ පියවර ගත්බව අපට අනුමාන කරන්ඩ පුළුවනි. නව වෙනසට ජනයා හුරුවෙන්නට හැරීමට කාලයක් ගතවීම ස්වභාවිකයි. ඒ හැරුණු කොට වෙනත් බලපෑම් කිරීම ට්විටර් ජනප්‍රියත්වයට හානිකර වියහැක. නමුත් විවිධ ස්වරූපයෙන් පෙනීසිටිනවාට වඩා නියමිත ස්වරූපයක් ගැනීම වඩාත් සුදුසුයි කියල Twitter හිතනව වගේ..

Wednesday, June 6, 2012

QR Code ගැන සියල්ල..

"ඉක්මන් ප්‍රතිචාර" යන තේරුමින් කිව් ආර් කෝඩ් (QR=Quick Response) ලෙස හැඳින්වෙන්නේ දත්ත ගබඩාකරණය සඳහා සැබෑ ලෝකයේදී යොදාගන්නා සම්මතයකි. එය අඩු ඉඩප්‍රමාණයක වැඩි දත්ත ප්‍රමාණයක් රැඳවීමට මෙන්ම එසේ නිරූපණය කළ දත්ත ක්‍ෂණයකින් විද්‍යුත් උපාංගයකින් පහසුවෙන් කියවාගත හැකි ක්‍රමවේදයකි. මෑතකාලීනව එහි ජනප්‍රියත්වය පුළුල් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ජංගමදුරකතන තුලට QR කේත කියවීමේ පහසුකම ඇතුලත් වීමට පටන්ගැනීමය. පුවත්පත් දැන්වීමේ පටන් විලාසිතාව දක්වා ව්‍යාප්තවී ඇති QR කේතයේ පිහිටෙන් දැන් අන්තර්ජාලය ඇත්තේ අතේදුරකිනි. ඒ ඩිජිටල් ලෝකය වෙත අප වඩවඩාත් සමීපකරනා මෙවලමක් බවට පත්වෙමිනි.


විචිත්‍රවත් තිත් රටාවන් ලෙස දිස්වෙමින් බොහෝදෙනා අතර කුතුහලය දැනවීමට සමත් මෙම කේත පිළිබඳ වැඩිදුරටත් විමසාබලමු..


හැඳින්වීම

QR Code යනු ද්විමාන කේතකරණ සම්මතයකි. ලොව ප්‍රථමවතාවට QR කේත භාවිතයට ගැනුනේ 1994 වසරේදී ජපානයේ Toyota සමාගම විසිනි. ඒ තම නිෂ්පාදනාගාර තුල නිපැයෙන මෝටර්රථ යන්ත්‍ර මගින් එකිනෙක වෙන්කර හඳුනාගැනීමට සහ පරිපාලනය පහසුකිරීමටයි. මෙසේ කිවු ආර් කෝඩ් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ටොයෝටා සමාගම් ජාලයේ 'Denso Wave' සමාගමටයි.

මෙම ද්විමාන ස්වභාවය නිසා සාමාන්‍ය බාකෝඩ්(UPC Barcode) කේත වැනි තනිමානයක් දත්ත ගබඩාකරණ කේත තුල රඳවන දත්ත ප්‍රමාණය මෙන් කීපගුණයක දත්ත රඳවාගබාගැනීමට QR කේත සමත්කම් දක්වයි.

භාවිතයේ ඇති වෙනත් ද්විමාන කේතකරණ කීපයක්
  • PDF417
  • DataMatrix
  • Maxi Code

QR සලකුණ

සම්මත barcode මෙන්ම QR code ද එකිනෙක වෙන්කරගත හැකි වර්ණ 2කින් යුක්තය. පසුබිම් වර්ණය ලෙස සුදු වර්ණයද මුද්‍රණ තීන්තවල වර්ණය ලෙස කලු වර්ණයද බොහෝවිට යොදාගැනේ.


මොඩියුල(Modules)

QR සංකේතය සමචතුරස්‍රාකාර මුද්‍රණයකි. හොඳින් නිරීක්‍ෂණය කළවිට එය කුඩා සමචතුරස්‍ර ජාලයක් ලෙස පෙනේ. එම කුඩාම සමචතුරස්‍ර ඒකකය 'මොඩියුලය'ක්  ලෙස හැඳින්වේ. ඒවායින් සමහරක් තීන්තවලින් වර්ණගන්වා ඇති අතර අනෙක්වා පසුබිම් පැහැයෙන් දිස්වේ. QR code තුළ දත්ත ගබඩාකිරීමට භාවිතවන ප්‍රධානම ඒකක වන්නේ මේ මොඩියුලයි. එනම් එක් මොඩියුලයක් බිට් එකකට අනුරූපී වේ.
නමුත් මේවායින් සමහරක් දත්ත ගබඩා කිරීම වෙනුවට QR සලකුණේ ව්‍යූහය ගොඩනැගීම සඳහා යොදාගැනේ.


මොඩියුලවල විශාලත්වය

QR කේතකරණයේ භාවිතවන මොඩියුල වලට නියමිත විශාලත්වයක් නොමැත. වැදගත් වනුයේ පැහැදිලි සමචතුරස්‍රාකාර හැඩය සහ පැහැදිලිව හඳුනාගතහැකි බවයි. මුද්‍රණය කිරීමේදී මොඩියුලයක් සඳහා dots 16ක්, 25ක් හෝ 36ක් භාවිතයට ගැනීම නිර්දේශකර ඇත. එම නිසා මොඩියුලයේ විශාලත්වය මුද්‍රකයේ(ප්‍රින්ටරයේ) dpi(dots per inch) settings මත තීරණය වේ.

Codewords

දත්තගබඩාකරණය සඳහා යොදාගන්නා මොඩියුල 8 බැගින් යුක්ත වන සෘජුකෝණාස්‍රාකාර ප්‍රදේශ කෝඩ්වර්ඩ්ස් ලෙස හැඳින්වේ. එක් කෝඩ්වර්ඩ් එකක ධාරිතාව බයිට් 1කට සමානවේ.


Trackboxes

සලකුණේ  කෙලවරයන් තුනක පැහැගැන්වූ මොඩියුලයන් මගින් ගොඩනැගුණු තරමක් විශාල සමචතුරස්‍ර තුනක් සහ ඒ සමචතුරස්‍ර තුල තවත් කුඩා සමචතුරස්‍රය බැගින් දැකිය හැකිය. මෙම සමචතුරස්‍රාකාර ව්‍යූහයන් trackboxes ලෙස හැඳින්වේ.
එමෙන්ම ට්‍රැක්බොක්සස් යාවන පරිදි මුද්‍රණය කරඇති කඩඉරි දෙකක්ද දැකිය හැකි අතර ඒවායේ ද දත්ත ගබඩා නොකෙරේ. සෙසු පෙදෙස දත්ත ගබඩාකරණය සඳහා යොදාගැනේ.


Quiet Zone/නිහඩ කලාපය

QR සලකුණ වටා මොඩියුල 4ක පමණ හෝ ඊටත් වැඩි දුරක් විහිදෙන පෙදෙස quiet zone ලෙස හැඳින්වේ. මෙය QR කේතයේ පසුබිම් වර්ණයෙන් ඒකාකාරීව පැහැගන්වා ඇත. QR කේතය නිවැරදිව හඳුනාගැනීමේ පහසුව සඳහා මෙම පෙදෙස යොදා ඇත. (අනිවාර්ය නොවේ)


QR සංස්කරණ (Versions)

Version1
Version2
Version3
Version10
රඳවාගත හැකි දත්ත ප්‍රමාණය අනුව විවිධ QR සංස්කරණ 40කි. සංස්කරණය ඉහළයත්ම සංකේතයේ අඩංගු මොඩියුල ප්‍රමාණය වැඩිවේ. ඒසමගම දත්ත ධාරිතාවද, සංකේතයේ විශාලත්වයද ඉහළයයි.

ඉහළ සංස්කරණයන්හිදි සංකේතය නිවැරදිව ස්කෑන් කරගැනීමේ පහසුව සඳහා අමතර (කුඩා) trackboxes ඇතුලත්කෙරේ.

Version 1 QR සංකේතයේ පැත්තක දිග මොඩියුල 21කි. Version 2හිදි එය 25කි. එනම් වැඩිවන සෑම සංස්කරණයකටම පැත්තක දිග මොඩියුල 4 බැගින් වැඩිවේ.


දත්ත ගබඩාකරණය

කිව් ආර් කේතයක් තුල ගබඩාකළ හැකි ප්‍රධාන ආකාර 4කි. ඒවා නම්: සංඛ්‍යා(Numeric), සංඛ්‍යා හා ඉංග්‍රීසි අක්‍ෂර(Alphanumeric), කන්ජි සහ කනා(Kanji, Kana) ජපන් අක්‍ෂර, සහ බයිට්ස්(Bytes) යන වර්ග 4යි. මීට අමතරව URL ලිපින, හැඳුනුම්පත් දත්ත ඇතුලත් කල හැකි ලෙස ද සැකසිය හැක

භාවිතකරන QR සංස්කරණය මත ගබඩා කළහැකි දත්ත ප්‍රමාණය තීරණය වේ. දැනට භාවිත වන ඉහළම සංස්කරණයේ(version 40) ධාරිතා මෙසේය.

දත්ත වර්ගය
ධාරිතාව
අඩංගුකළ හැකි සංකේත
Numeric
7,089
(0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9)
Alphanumeric 
4,296
 (0–9, A–Z [කැපිටල් අක්‍ෂර පමණි], space, $, %, *, +, -, ., /, :) 
Binary/byte
 2,953 bytes  
(23624 bits) 
Kanji/Kana
1,817


විශේෂ ලක්‍ෂණ

1. ඕනෑම අතකට ස්කෑන් කිරීමේ අවකාශය

කුමන අතකට ස්කෑන් කිරීම සිදුකලද trackboxes වල පිහිටීම් උපකාරයෙන් QR සංකේතය නිවැරදි ලෙස කියවිය හැක.


2. දෝෂ ශෝධනය (Error correction)

මුද්‍රිත QR කේතයේ කොටසක් අපිරිසිදුවීම හෝ හානිවීම නිසා කියවිය නොහැකි තත්වයක් ඇතිවුවහොත් මුලු QR කේතයම භාවිතකල නොහැකි තත්වයක් ඇති විය හැක. මීට ප්‍රතිකර්මයක් ලෙස දෝෂ ශෝධන දත්ත එක්කර QR කේත මුද්‍රණය කෙරේ. එවිට එම අමතර දත්ත භාවිතයෙන් හානිවූ කොටස්වල දත්තයන් ප්‍රතිනිර්මාණය කරගත හැක. QR කේතවල දෝෂ ශෝධනය සඳහා Reed-Solomon ඇල්ගොරිතම භාවිතයට ගැනෙන අතර error correction levels 4ක් සපයා ඇත. වැඩි දෝෂ ශෝධන දත්ත ප්‍රමාණයක් එක්කලවිට වැඩි දත්ත ප්‍රමාණයක් ආවරණය කල හැකිවන අතරම ගබඩාකල හැකි දත්ත ප්‍රමාණය අඩුවීයයි.


නිර්මාණාත්මක කිව් ආර් සංකේත ගොඩනැගීම සඳහා දෝෂ ශෝධන හැකියාව යොදාගෙන ඇති අවස්ථා කීපයක්:
(සැරසිලි යෙදීම නිසා සලකුණේ දත්තයන් හානිවුවද ගැටලුවක් නොවන ලෙස ඉහළ දෝෂ ශෝධන මට්ටමක් භාවිත කර ඇත)

භාවිතයන්

ලේබල් කිරීමට(Labelling)

උපාංග, ද්‍රව්‍ය ආදි භෞතික දේවල් ලේබල් කිරීමේදී විශාල දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩක රඳවාගැනීමට අවකාශ සැලසේ. බැලුබැල්මට තේරුම්ගත නොහැකි නමුත් ස්කෑන් කිරීම මගින් ක්‍ෂණයකින් කියවාගැනීමට හෝ උපාංගයකට ක්‍ෂණයෙන් තොරතුරු ඇතුලත්කිරීමේ මාධ්‍යක් ලෙස භාවිතයට ගැනේ.


හාර්ඩ් ලින්කින්(Hardlinking)

වෙබ්අඩවි එකිනෙක හයිපර් ලින්ක්(Hyperlink) මගින් සම්බන්ධකරනවාක් මෙන්, භෞතික වස්තුවක් මෘදුකාංගමය(වෙබ්අඩවියක් වැනි) දෙයක් සමග සම්බන්ධකිරීමේ මාධ්‍යක් ලෙස


Advertising

කිවු ආර් කේතයක් කියවීමට සැලසවීම තුලින් යම් වෙබ්අඩවියක් වෙත ගෙනයාම වැනි වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට.


නිර්මාණශීලී ලෙස QR කෝඩ් භාවිත කර ඇති අවස්ථා කීපයක්:




Monday, June 4, 2012

Google, Motorola සමාගම මිලදී ගත්තේ ?

පසුගිය මැයි මාසයේ මැද භාගයේ දී ලෝකප්‍රකට මෝටරෝලා මොබිලිටි සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක මුදලකට මිලදී ගැනීමට Google සමාගම කටයුතු කළේය. Google සමාගම් ඉතිහාසයේ වැඩිම වියදමක් දරා කළ ආයෝජනය මෙම ගණුදෙනුව ලෙස සැලකේ.


මෝටරෝලා සමාගම ලොව ප්‍රමුඛතම ජංගම උපාංග සමාගමකි. ඇමරිකානු එක්සත් ජනපදය තුළ ආරම්භවූ එයට වසර 80ක් ඉක්මවූ ඉතිහාසයක් ඇත. ලොව ප්‍රථම ජංගම දුරකථනයේ නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේද මෝටරෝලා සමාගමයි. මෑතකාලීනව වෙනත් ජංගම උපාංග නිෂ්පාදකයන් හා පැවති තරඟකාරී තත්වය යටතේ විශාල පාඩුවක් විඳදරාගැනීමට මෝටරෝලා සමාගමට සිදුවිය. එය මුල් කරගනිමින් 2011 වසර මුල් භාගයේදී මෝටරෝලා සමාගම දෙකඩවිය. ඒ Motorola Mobility හා Motorola Solutions යනුවෙනි. එමගින් Motorola Solutions සමාගම ලාභලැබීමට සමත්වුවත් ජංගම උපාංග නිෂ්පාදන අංශය වන Motorola Mobility සමාගම තවත් අර්බුදයට ලක්විය. මේ අනුව එම සමාගම මිලදී ගැනීමට Google සමාගම තීරණය කළේය. ඒ සඳහා ගූගල්හි වත්මන් විධායක අධ්‍යක්‍ෂධූරය හොබවන ලැරි පේජ් විශාල උනන්දුවක් දැක්විය.
Larry Page
මාධ්‍යට අදහස් දැක්වූ ඔහු නුදුරු දිනකදීම අන්තර්ජාලය භාවිතයටගන්නෝ බහුතරය ජංගම උපාංග ඇසුරින් ප්‍රවේශවන්නන් වනුඇති බවට ඉඟිකළේය. ජංගම දුරකථන ක්‍ෂේත්‍රයට වඩවඩාත් සමීපවීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටින බව මින් හැඟෙන්නේ නොවේද.


Android 

ආරම්භයේ පටන් Google සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය දැන්වීම්කරණයයි(online advertising). දැනටත් ඔවුන්ගේ ආදායමෙන් 95%කට අධික ප්‍රතිශතයක් ඉපැයෙන්නේ එලෙසිනි. 2005 වසරේ දී බංකොලොත්භාවයට පත්වන්නට ගිය Android Inc. සමාගම මිලදී ගැනීමෙන් පටන්ගත් ගූගල් සමාගම මේවන විට සැලකෙන්නේ ලොව විශාලතම ජංගම දුරකථන මෘදුකාංග නිෂ්පාදකයා ලෙසය. ආදායම් මාර්ගයක් ලෙස Android යොදා නොගත්තේය. ලෝකයේ වෙනත් ජංගම දුරකථන නිෂ්පාදකයන්ට නොමිලේම වාගේ යොදාගැනීමට එය වෙන්කළේය. ප්‍රතිඵලය වූයේ Android ඉතා සීග්‍රයෙන් දියුණුවීමයි.


Android ප්‍රචලිත්වය හමුවේ මෑතභාගයේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් නම් මෘදුකාංග සමාගම් කීපයක් Android මෙහෙයුම් පද්ධතියට සීමා පැනවීමට උත්සහදැරීමයි. Oracle, Apple හා Microsoft සමාගම් මින් ප්‍රමුඛත්වය ගත්හ. ඒ ඔවුනොවුන් හිමිකාරීත්වය දරණ පේටන්ට්පත්‍ර උල්ලංගනය කිරීම් Android තුළ සිදුවී ඇති බව දක්වමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් වෙත නොයෙකුත් නීතිමය බාධක එල්ලවීමක් සිදුවුණා. ඉදිරියට තවතවත් නීතිමය බාධක එල්ලවීමෙන් ආරක්‍ෂාවීමට ගූගල් සමාගම ගත් පියවරක් ලෙස ද මෝටරෝලා මොබිලිටි සමාගම මිලදී ගැනීම දැක්විය හැකියි. මන්දයත් ඒ සමගම මෝටරෝලා සමාගමේ 17 000කට අධික පේටන්ට් සංඛ්‍යාවක හිමිකාරීත්වය Google සමාගමට පැවරෙන බැවිනි.


තරඟකාරීත්වය සහ ප්‍රතිවාදීන්

ගණුදෙනුව සමග ලොකයේ ජංගම දුරකථන නිෂ්පාදකයන් අතර දෙගිඩියාවක් ඇතිවිය. ඒ Android පිළිබඳවයි. ගූගල් සමාගම ජංගම උපාංග නිෂ්පාදනයට පැමිණීමත් සමග දැන්දැන් Android දියුණුකිරීමට දායක වූ වෙනත් සමාගම් තරඟකාරුවන් බවට පත්වී හමාරයි. එයට ප්‍රතිචාර දැක්වූ Google සමාගම සෙසු සමාගම් වලට දන්වා ඇත්තේ Android වලට විශේෂ වැඩපිලිවෙලක් යෙදීමට තමන්ගේ අදහසක් නැති බවයි. මේ පිළිබඳ ගූගල් සමාගමේ සැබෑ අදහස කුමක් වුවත් මීළඟ වසර 5 ගෙවෙනතෙක් Android නිදහසේ පවත්වාගෙනයාම අනිවාර්ය වේ: ඒ මෙම ගණුදෙනුවට බලපෑ කොන්දේසියක් හේතුවෙනි.


ආයෝජකයන්ගේ මතය

මෝටරෝලා සමාගම මිලදී ගැනීමත් සමග සිදුවූ තවත් සිදුවීමක් නම් ගූගල් සමාගමේ කොටස් වෙළඳපලේ යම් පසුබෑමක් දක්නට ලැබීමයි. ගූගල් සමාගමගත් පියවර වෙත ධනාත්මක ආකල්පයක් දැකිවීමට බොහෝ ආයෝජකයන් මැලිවීම මීට හේතුවයි. මෝටරෝලා සමාගමේ පාඩුලැබීම ගූගල් සමාගම මත පැටවීම ඊට හේතුවයි. අනෙක්අතට, මෝටරෝලා සේවක පිරිස සුරැකීමේ වගකීමද Google සමාගම වෙත පැවරී තිබේ.


සමස්ථයක් ලෙස ගත්විට ජංගම උපාංග ක්‍ෂේත්‍රයට වඩවඩාත් සමීපවීමට Google මානබලමින් සිටියි. එම ක්‍ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Apple සමාගමට වඩාත් හොඳ තරඟයක් දීම ගූගල්හි අපේක්‍ෂාවයි. උපාංග නිෂ්පාදනයට ගූගල් සමාගම අතගැසුවේ ඒ නිසා නොවේද? නමුත් අතුරුප්‍රතිඵලයක් ලෙස මෙතෙක් සිටි හිතමිතුරනුත් තරඟකරුවන් බවට පත්වී හමාරයි. ලෝකය විමතියෙන්....

Wednesday, May 9, 2012

DNSChanger Trojan - Full Report


අන්තර්ජාලයට සම්බන්ධවන පරිගණක අතුරින් ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ ජූලි 9 වන දින පටන් අන්තර්ජාල පහසුකම් ඇහිරී යනු ඇතැයි පසුගිය මාසයේ දී නිවේදනයට පත්කෙරුණා(මෙතනින් කියවන්න).  මේ පුවතත් සමග  dnschanger ට්‍රොජන් වැඩසටහන් නැවතත් අවධානය යොමුකරගැනීමට සමත්වී තිබෙනවා. මේ dnschanger සම්ප්‍රදායේ මූලාරම්භය හා පරිණාමය පිළිබඳවයි.


හැඳින්වීම

DNSChanger ලෙස හැඳින්වෙන්නේ ට්‍රොජන් වැඩසටහන් කාණ්ඩයකි. එහි නමින් හැඟවෙන පරිදි Domain Name Server/System පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට උත්සාහදරණ හානිකර මෘදුකාංග පෙළකි.

DNS ගැන යමක්

අන්තර්ජාලය භාවිතයේදී වෙබ් අවඩි සඳහා domain name භාවිතයට ගැනෙනවා. නමුත් ජාලය තුළ සත්‍යවශයෙන් භාවිත වන්නේ IP ලිපිනයන්ය. IP ලිපිනයන් මතක තබාගැනීමේ අපහසුව මගහරවා ගැනීමට ඩොමේන් නාම භාවිතයට ගැනෙනවා. DNS සේවාව මගින් කෙරෙනුයේ ඩොමේන් නාමයන්ට අදාල IP ලිපින ලබාදීමයි.

මූලාරම්භය

2003 වර්ෂයේ ඔක්තෝබර් මස 1 වන දා පෙර නොවූ අමුතුම ගණයේ ට්‍රොජන් වැඩසටහනක් සොයාගැනීමට ප්‍රතිවෛරස් මෘදුකාංග සමාගම් සමත්වුණා. QHosts-1 යනුවෙන් හැඳින්වුණු එය Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත පරිගණකවල මූලික DNS පද්ධතිය වන hosts ගොනුව(file) වෙනස්කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි.  වරක් ආසාදිතවූ පසු මින්පටන් පරිශීලකයන් යොමුකෙරෙන්නේ ව්‍යාජ වෙබ් අඩවිවලටය. ඒවායින් බොහෝමයක් Phishing ගණයේ වෙබ් අඩවි නිසා සත්‍ය වෙබ් අඩවිවල ස්වරූපය අනුවම සාදා ඇත්තේය. මෙම වෙබ් අඩවිවලට පරිශීලකයා ලබාදෙන රහස්‍ය තොරතුරු (username, password) phishing අඩවියේ නිර්මාපකයා ලබාගනී. විශේෂයෙන් banking sites, online payment sites වලට පරිශීලකයා ඇතුලත් කරන තොරතුරු දෙස ඔවුන් අවධානයෙන් සිටිති.

මෙවැනි නවතම සංකල්පයක් සමග කලඑළි දුටු QHosts ට්‍රොජන් වැඩසටහනට ගොදුරු වූ පරිගණක සංඛ්‍යාව දහසක් පමණ වන බව වාර්තාවුණි. පැතිරයාම එතරම් විශාල නොවුනත් නව හානිකර වැඩසටහන් සම්ප්‍රදායකට මුලපුරමින් QHosts-1 මර්දනයට පත්විය. ඉන්පටන් QHosts පරම්පරාවක්ම ආරම්භවිය. ඉන් QHosts-113 මෑතකදී සොයාගැනුණු සංස්කරණයකි.

දෙවන පරම්පරාව

පරිගණකයේ hosts ෆයිලය වෙනස් කිරීම වෙනුවට පරිගණකය යොදාගන්නා DNS සර්වරයේ සම්මත IP ලිපිනය වෙනුවට ව්‍යාජ DNS සර්වරයක IP ලිපිනය ස්ථාපනය කිරීමට සමත් Zlob නමැති ට්‍රොජන් වැඩසටහනක් 2005 වසරේ දී හමුවිය. පරිශීලකයාට වඩාත් නොදැනෙන ආකාරයකට පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලා කිරීමට එය සමත්විය.

තුන්වන පරම්පරාව

2008 ජූනි මාසයේදී McAfee සමාගම විසින් ශ්‍රේණියේ මීළඟ පුරුක හෙළිදරවු කරනු ලැබුවේය. DNSChanger.f ට්‍රොජන් වැඩසටහන මෙතෙක් පැවති පරම්පරාවන් මෙන් නොව: ආසාදිත පරිගණකයේ DNS පද්ධතිය විකෘති කිරීමට අමතරව එම පරිගණකය පිහිටි LAN ජාලයේ අනෙකුත් සියලු උපාංගද ගොදුරු කරගැනීමට ඉලක්කකරගත්තකි. ඒ සඳහා පරිගණක ජාලයේ local DNS(බොහෝවිට රවුටරය) පද්ධතිය වෙත ප්‍රවේශය ලබාගෙන එහි DNS settings වෙනස් කිරීමට උත්සාහ දරයි.

සිවුවන/නව පරම්පරාව

කිසිඳු settings වෙනස් කිරීමකින් තොරව එක් ආසාදිත පරිගණකයකින් මුලු ජාලයක්ම ගොදුරු කරගැනීමට සමත් Trojan.Flush.M නමැති හානිදායක වැඩසටහන 2011 දෙසැම්බරයේ දී Symantec සමාගම විසින් හඳුනාගැණින. ආසාදිත පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් ජාලය තුල ව්‍යාජ DHCP සර්වරයක් ලෙස ක්‍රියාකරමින් සෙසු පරිගණක ව්‍යාජ DNS සර්වරයක් වෙත යොමුකිරීමට එය සමත්.

මෙලෙස ව්‍යාජ වෙබ්අඩවිවෙත යොමුකෙරෙන සෙසු පරිගණකද එම ට්‍රොජන් වැඩසටහනෙන් පහසුවෙන් ආසාදනය වීමේ හැකියාව පවතිනවා. පරිගණක ආරක්ෂාව පිළිබඳ සමාගම් වලට අනුව මෙමගින් ඉහළම තර්ජනයක් ඇත්තේ Wi-Fi ජාලයන් වෙත සම්බන්ධවන පරිගණකවලටයි. මක්නිසාදයත් ජාලයට සම්බන්ධවන කුමන හෝ ආසාදිත පරිගණකයක් මගින් කිසිවෙකුටත් නොදැනී ජාලයේ සෙසු පරිගණක සියල්ලම නොමග යැවෙන නිසාය. එම ජාලය තුල තිබෙන මෙහෙයුම් පද්ධති කුමක් වූවත් මෙම ප්‍රහාරයට ගොදුරුවේ.

නිගමනය

මුදල් සෙවීමේ මගක් ලෙස විනාශකාරී වැඩසටහන් යොදාගැනීමෙන් ඉදිරියට තවතවත් හානිකර වැඩසටහන් අලුතින් නිර්මාණය වනු ඇත. එමෙන්ම ඒවා තාක්‍ෂණිකව වඩාත් දියුණු තත්වයකට පැමිණෙනු ඇත. ජාලකරණය ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් එක් පරිගණකයකට ආසාදනය වීමෙන් සම්පූර්ණ ජාලයම පාවාදීම බරපතල තත්වයකි. මෙවැනි තත්වයන් හමුවේ කාලයක් තිස්සේ නොයෙක්දෙනා සිහිනමැවූ වයර්ලස් නිදහස නොබෝදිනයක නපුරු සිහිනයක් වනු ඇත්තේය.

පිළියම

 ට්‍රොජන් වැඩසටහන් පරිගණක වෛරස මෙන් ව්‍යාප්ත නොවේ. බොහෝවිට ඒවා පැතිරෙන්නේ පරිගණක පරිශීලකයාගේ නොසැලකිලිමත් බවින් විශ්වාසවන්තභාවයෙන් අඩු මෘදුකාංග ක්‍රියාකිරීමෙදී නොදැනුවත්වම ස්ථාපනය වන වැඩසටහන් ලෙසිනි. විශ්වාසවන්ත මෘදුකාංග පමණක් භාවිතයෙන්, අවිශ්වාසවන්ත ‍වෙබ්අඩවි, Wi-Fi ජාල වෙත පිවිසීම වැළකීමෙන් සහ ජාලකරණය කළ පරිගණක තුළ නිරෝගිමත් තත්වයක් පවත්වාගෙන යාමෙන් dnschanger අවධානම බොහෝදුරට අවම කරගත හැක.


යම්කිසි අයුරකින් ඔබ ආසාදනයට ලක්වුවහොත් යාවත්කාලීන කරනලද ප්‍රතිවෛරස මෘදුකාංගයකින් ට්‍රොජන් වැඩසටහන ඉවත්කරගන්න. ඉන්පසු වෙනත් නිරෝගී පරිගණකයක් මගින් අදාල dnschanger වැඩසටහනෙන් කරන ලද වෙනස්කම් යථාතත්වයට පත්කිරීම සඳහා මෘදුකාංගයක් බාගතකර ඔබේ පරිගණකය තුළ ක්‍රියාත්මක කරවන්න. ඔබේ රවුටරයේ DNS සැකසුම පරික්‍ෂාකර නිවැරදි කරගන්න.

Tuesday, May 8, 2012

Operation Ghost Click සහ ජූලි 9

2012 ජූලි 9 වන දින පටන් අන්තර්ජාලය භාවිතයේදී විශාල දුෂ්කරතාවකට මුහුණදීමට ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ සිදුවන බව පසුගිය මාසයේ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්විය. වසර කීපයක් ඔස්සේ දිවයන ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය වන මෙහි සිදුවීම් පෙළ මෙසේය.

මීට වසර 5කට පමණ පෙර හැකර් කණ්ඩායමක් මුදල් සෙවීමේ අලුත් ක්‍රමයකට අතගැසුවේය. ඒ වෙබ් අඩවි තුල දැන්වීම් පළකර ඒවා වෙත පරිගණක පරිශීලකයන් බලහත්කාරයෙන් ගෙනඒමටය. ඒ සඳහා ලොවපුරා පරිගණක දහස්ගණනින් තම ග්‍රහණය නතුකරගැනීමට ඔවුන් DNSChanger පවුලේ trojan වැඩසටහන් නිර්මාණය කර වෙනත් මෘදුකාංග තුළ සඟවා වෙබ් අඩවි තුල පළ කර ලොව පුරා බෙදා හැරීය. ඒවායින් ආසාදනය වූ පරිගණකවල DNS පද්ධතිය වෙනස්කර ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ DNS server වෙත බිලීබාගත්තේය. මෙසේ ගොදුරුකරගත් පරිගණක ඉන්ඔබ්බට පිවිසෙන්නේ නිවැරදි වෙබ්අඩවි වලට නොව, දැන්වීම් පලකළ ව්‍යාජ වෙබ් අඩවිවලටය. නැත්නම් phishing අඩවිවලටය. මේ වෙබ්පිටු ඔස්සේ දැන්වීම් පෙන්වීමෙන් හා ඒවා Click කිරීමට පෙලඹවීමෙන් මේ හැකර් කණ්ඩායම ආදායම් ලැබූහ. වසර 5ක් තිස්සේ ඔවුන් මෙසේ පවත්වාගෙන ගිය සැලසුමෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14කටත් අධික බව වාර්තාවේ.

බලපෑමටපත් පරිගණක ඝනත්ව සිතියම
Windows  පරිගණක මෙන්ම Mac OSX පරිගණකද තම ජාලයට ඈඳා ගැනීමට ඔවුන් වෙනම ට්‍රොජන් වැඩසටහනක් ව්‍යාප්ත කළහ.


ඇමරිකානු අධිකරණයේ සහාය ඇතිව එරට FBI සමාගම විසින් ප්‍රතිවෛරස මෘදුකාංග සමාගමක් සමග "Operation Ghost Click" නමින් වසර 2ක් තිස්සේ පැවැත්වූ පරීක්‍ෂණ හා සෝදිසිකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස හොරරහසේ පවත්වාගෙන ගිය එම වංචනික DNS සර්වර් 2011 නොවැම්බර් 8 දින අත්අඩංගුවට ගැනීමට  FBI ආයතනයට හැකි වුණේය. ඒ ආමරිකාවේ චිකාගෝ හා නිව්යෝක් නගරවල කළ වැටලීම් වල ප්‍රතිඵලයක් ලෙසය. එහිදී එස්ටෝනියානු ජාතිකයින් හයදෙනෙක් සමගින් රුසියානු ජාතිකයෙක් මෙසේ අත්අඩංගුවට පත්වුණහ.

අත්අඩංගුවටගත් වංචනික DNS පද්ධති වසාදැමීමෙන්  ගොදුරුවී සිටි පරිගණක වෙත ලැබෙන DNS සේවාව අහිමිවීම වැළැක්වීම සඳහා ඒ ස්ථානයේ නිවැරදි DNS පද්ධතියක් ස්ථාපනය කිරීමට FBI සමාගම කටයුතු කලා. ඒ dnschanger වැඩසටහනට ගොදුරුවී සිටින පරිගණක යථාතත්වයට පත්කරගැනීමට අවකාශය හා කාලය ලබාදෙන තෙක් තාවකාලික සේවාවක් ලෙසිනි. එම තාවකාලික පද්ධතිය පසුගිය මාර්තු 8වන දින වසාදැමීමට නියමිතව තිබුන ද ඒ වන විටත් ලොවපුරා පරිගණක මිලියන භාගයක් පමණ යථාතත්වයට පත්කරගෙන නොතිබුණු හෙයින් වසාදැමීමේ දිනය ජූලි 9වන දින තෙක් කල් තැබුණා. එතෙක් එම DNS පද්ධතිය නඩත්තු කරනුයේ FBI ආයතනයේ මුදලින්ය. ඒ නිසා ජූලි 9වන දායින් පසු නැවත සලකාබැලීමක් කිසිසේත් නොකරන බවත් ඉන් පෙර තමතමන්ගේ පරිගණක යථාතත්වයට ගෙන ඒමට කටයුතු නොකළහොත් DNS සේවාව වසාදැමීමෙන් පසු සිදුවන විපාක වලට තම ආයතනය වග නොකියන බවත් FBI සමාගම අධිකරණයට පවසා ඇත.

සාමාන්‍ය ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතයෙන් dnschanger ට්‍රොජන් වැඩසටහන ඉවත්කරගත හැකි නමුත් ට්‍රොජන් වැඩසටහනෙන් පරිගණක මෙහෙයුම් පද්ධතියේ settings වල සිදුකළ වෙනස්කම් එමගින් යථාතත්වයට පත් කරගත නොහැකිය. එම settings යථාතත්වයට පත්කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම උපකාරක මෘදුකාංග ද වෙනම ලබාගැනීමට ඇත. ඔබගේ පද්ධතියේ DNS settings නිවැරදිදැයි පරික්‍ෂාකරගැනීම සඳහා http://dns-ok.us/ වෙබ් අඩවිය වෙන්කර ඇත. 

ඔබේ පරිගණකය ආසාදිත නම් එහි දැක්වෙන රූපසටහනෙහි පසුබිම රතු පැහැයෙන් දිස්වේ. ඔබේ පරිගණකය ආසාදිත යයි හැඟේනම් යාවත්කාලීන කරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගයකින් පරිගණකය scan කර trojan වැඩසටහන ඉවත්කරගැනීමෙන් අනතුරුව ඉහත http://www.dcwg.org/ වෙත ප්‍රවේශ වන්න. සියලු උපදෙස් පියවරෙන් පියවර එහි දක්වා ඇත.

Tuesday, May 1, 2012

Bluetooth කතන්දරය



 කියූ පමණින් ලොකු කුඩා සියළු දෙනාගේ සිහියට නැගෙන්නේ ජංගම දුරකථන දත්ත හුවමාරු කිරීම සදහා භාවිතා කරන රැහැන් රහිත මාධ්‍යයකි. නමුත් මෙම කියනා නාමය ක්‍රිස්තු වර්ෂ 958 දක්වා ඈත අතීතය හා සම්බන්ධ බව ඔබ දන්නවාද? 1994 වර්ෂයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැප් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8ක් අතර ගැටලුවකින් තොරව වයර්ලස් ආකාරයට දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් සොයාගන්නාලදී. එකල එය MC – link [Multicommunicator link] නම් විය. දැනට භාවිතා වන Bluetooth තාක්ෂණයේ ආරම්භය වන්නේ මෙම MC-link තාක්ෂණයෙනි.


Jaap HaartsonSvan Mattison
MC – link තාක්ෂණයට Bluetooth යන නම ලැබී ඇති ආකාරය අපූරුය.  ක්‍රිස්තු වර්ෂ 958දී ඩෙන්මාකයත් නොර්වේ රටේ කොටසකුත් පාලනය කල හෙරල්ඩ් බ්ලූටූත්(Herald Bluetooth) නම් රජවරයෙකු එකල එකිනෙකා අතර ගැටුම් ඇති කරගත් ගෝත්‍ර 8 ක් සමගි කිරීමට සමත් වුනි. මෙම MC –link තාක්ෂණයටද එකවර උපාංගයන් 8 ක් අතර ගැටලුවකින් තොරව දත්ත හුවමාරු කරන්නට හැකි වීම හේතුවෙන් එදා හෙරල්ඩ් බ්ලූටූත් රජුට ගෝත්‍ර 8ක් සමගි කරන්නට පුළුවන් වූවා සේ මෙම MC -link තාක්ෂණයට විවිධ විද්‍යුත් උපාංග 8 ක් සමගි කරන්නට හැකි වීම නිසා මෙම MC –link තාක්ෂණය හෙරල්ඩ් බ්ලූටූත් රජුගේ කතාව පාදක කරගනිමින් Bluetooth යනුවෙන් නම්කෙරිනි. බ්ලූටූත් සංකේතය පවා නිර්මෘණය කෙරුනේ හෙරල්ඩ් බ්ලූටූත් ගේ නමේ මුල් අකුරු රූනික් අක්ෂරමාලාව ඇසුරින් නිරූපණය කර එක් කිරීමෙනි.



Bluetooth තාක්ෂණය සමහරක් වයර්ලස් තාක්ෂණයන්ගෙන් වෙනස් වන්නේ මෙම තාක්ෂණයට පෙර සදහන් කල පරිදිම එකවර විවිධ උපාංග 8 ක් අතර දත්ත හුවමාරු කරන්නට හැකිවීමත්, IR (අධොරක්ත) වලදී මෙන් උපාංග කිට්ටු කර එක එල්ලේ තැබීම අනවශ්‍ය නිසාත්, මීටර සියයක පමණ වපසරියක් ඇතුලත ඹ්නෑම තැනක ඇති උපාංගයක් සමග අනෙක් උපාංගයට පහසුවෙන් සම්බන්ධ වීමට හැකි වීමත්, අඩු බල රේඩ්යෝ තරංග දත්ත සම්ප්‍රේශණය සදහා යොදා ගැනීමත් සහ අඩු බලශක්තියක් වැය කරමින් ප්‍රයෝජන ගන්නට හැකි වීමත් නිසාය.


Bluetooth තාක්ෂණයේදී යොදාගන්නේ 1 mW සිට 100 mW දක්වා වන ශක්ති වැය වීමක රේඩියෝ තරංගයන්ය. එය දුරකථන ඇමතුමකදී භාවිතා කරන 1W සිට 3W ශක්තියට වඩා 1000-3000 ගුණයක අඩු ප්‍රබලත්වයකි. Bluetooth ප්‍රබලතාව අනුව ජව කාණ්ඩ තුනක් හඳුන්වාදී ඇත.


කාණ්ඩය
සංඥා ප්‍රබලතාව
ආවරණය
Class 1
100mW
20dBm
100m
Class 2
2.5mW
4dBm
10m
Class 3
1mW
0dBm
1m

ජාලකරණය සහා භාවිතාවන අනෙකුත් බොහෝ රැහැන් රහිත රේඩියෝ සම්ප්‍රේෂණ තාක්‍ෂණ මෙන්ම Bluetooth තාක්ෂණයද සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නේ ISM(Industrial Scientific Medical) රේඩියෝ තරංග කලාපයයි. මන්දයත් බොහෝරටවල බලපත් රහිතව භාවිත කළහැකි රේඩියෝ තරංග කලාපයක් වන බැවිනි. Bluetooth සන්නිවේදනයේදී FHSS [Frequency Hopping Spread Spectrum] තාක්ෂණය භාවිතයට ගැනේ. ඒ අනුව 2.4Ghz කලාපය තුල වෙන්කරගත් 1Mhz බැගින් වූ සංඛ්‍යාත නාලිකා 79ක් නිර්මාණය කර ඒවා අතර මාරු වෙමින් සන්නිවේදනය සිදුකෙරේ. මෙහිදී තත්පරයක් තුලදී 800වතාවක් නාලිකා අතර මාරුවෙනු ලැබේ. එමගින් එකම ප්‍රදේශයක පිහිටි විවිධ Bluetooth උපාංග අතර සන්නිවේදනයන් එකිනෙක බාධාවීමේ හැකියාව අවම කර ඇත. එමෙන්ම තෙවන පාර්ශවයකට මෙම සන්නිවේදනය වන තොරතුරු අහුලාගැනීමේ හැකියාවද අවම වී යයි.
මේ වන විට Bluetooth තාක්ෂණයේ සංස්කරණ 4ක් හඳුන්වා දී ඇත. දත්ත හුවමාරු වන වේගය පාරිසරික සාධක මෙන්ම භාවිතකෙරෙන Bluetooth සංස්කරණය මත ද රඳාපවතී. 1994 වර්ෂයේදී පැමිණි Bluetooth 1.0 සංස්කරණයේදී ලබාගත හැකි උපරිම දත්ත හුවමාරු වේගය 1 Mbps වුණි. 2004 වර්ෂයේදී පැමිණි Bluetooth 2.0 සංස්කරණයේදී එය 3 Mbps විය. 2009 දී පැමිණි Bluetooth 3.0 හි උපරිම දත්ත හුවමාරු වේගය 480 Mbps වේ. නවතම සංස්කරණය Bluetooth 4.0ය.


වර්තමානයේදී PAN(Personal Area Network) ජාල ගොඩනැගිමේදී Bluetooth තාක්ෂණය බහුලව භාවිතයට ගැනේ. Bluetooth හි මූලික අරමුණ වනුයේ ජංගම උපාංග අතර ජාලකරණයයි. ඒ අනුව එය සැලසුම්කර ඇත්තේ එම උපාංග වලට දැරිය හැකි තත්ව යටතේ ක්‍රියාකිරීමටයි. එනම් අඩු බලයකින් දිගු වේලාවක් වැඩි දත්ත ප්‍රමාණයක් සන්නිවේදනය කිරීමට අවකාශ සැලසීමයි. ඒ අනුව Bluetooth යනු WiFi වැනි ජවසම්පන්න සන්නිවේදන තාක්ෂනණයන්ට කිසිලෙසකින්වත් විකල්ප තාක්ෂණයක් නොවන බව මතකතබාගැනීම වටී.


Bluetooth සඳහා IEEE(Institute of Electrical and Electronic Engineering ) ආයතනයේ ප්‍රමිතිකරණය IEEE 802.15.1 වේ. Bluetooth තාක්ෂණය දියුණු කරමින් එහි අනාගතය ගැන තීරණය ගන්නේ Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා සමාගම් වලින් ලැබෙන ආධාර මුදලින් යැපෙන, ලාභ නොලබන ආයතනයක් වන Bluetooth Special Interest Group ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනය Ericsson, IBM, Intel, Nokia සහ Toshiba යන සමාගම් විසින් පිහිටවනු ලැබුණි. මේ වන විට මෙම SIG ආයතනය සමග සම්බන්ධව Bluetooth තාක්ෂණයෙන් වැඩගන්නා සමාගම් ගණන 16000 කටත් අධිකය.