ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Wednesday, May 9, 2012

DNSChanger Trojan - Full Report


අන්තර්ජාලයට සම්බන්ධවන පරිගණක අතුරින් ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ ජූලි 9 වන දින පටන් අන්තර්ජාල පහසුකම් ඇහිරී යනු ඇතැයි පසුගිය මාසයේ දී නිවේදනයට පත්කෙරුණා(මෙතනින් කියවන්න).  මේ පුවතත් සමග  dnschanger ට්‍රොජන් වැඩසටහන් නැවතත් අවධානය යොමුකරගැනීමට සමත්වී තිබෙනවා. මේ dnschanger සම්ප්‍රදායේ මූලාරම්භය හා පරිණාමය පිළිබඳවයි.


හැඳින්වීම

DNSChanger ලෙස හැඳින්වෙන්නේ ට්‍රොජන් වැඩසටහන් කාණ්ඩයකි. එහි නමින් හැඟවෙන පරිදි Domain Name Server/System පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට උත්සාහදරණ හානිකර මෘදුකාංග පෙළකි.

DNS ගැන යමක්

අන්තර්ජාලය භාවිතයේදී වෙබ් අවඩි සඳහා domain name භාවිතයට ගැනෙනවා. නමුත් ජාලය තුළ සත්‍යවශයෙන් භාවිත වන්නේ IP ලිපිනයන්ය. IP ලිපිනයන් මතක තබාගැනීමේ අපහසුව මගහරවා ගැනීමට ඩොමේන් නාම භාවිතයට ගැනෙනවා. DNS සේවාව මගින් කෙරෙනුයේ ඩොමේන් නාමයන්ට අදාල IP ලිපින ලබාදීමයි.

මූලාරම්භය

2003 වර්ෂයේ ඔක්තෝබර් මස 1 වන දා පෙර නොවූ අමුතුම ගණයේ ට්‍රොජන් වැඩසටහනක් සොයාගැනීමට ප්‍රතිවෛරස් මෘදුකාංග සමාගම් සමත්වුණා. QHosts-1 යනුවෙන් හැඳින්වුණු එය Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත පරිගණකවල මූලික DNS පද්ධතිය වන hosts ගොනුව(file) වෙනස්කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි.  වරක් ආසාදිතවූ පසු මින්පටන් පරිශීලකයන් යොමුකෙරෙන්නේ ව්‍යාජ වෙබ් අඩවිවලටය. ඒවායින් බොහෝමයක් Phishing ගණයේ වෙබ් අඩවි නිසා සත්‍ය වෙබ් අඩවිවල ස්වරූපය අනුවම සාදා ඇත්තේය. මෙම වෙබ් අඩවිවලට පරිශීලකයා ලබාදෙන රහස්‍ය තොරතුරු (username, password) phishing අඩවියේ නිර්මාපකයා ලබාගනී. විශේෂයෙන් banking sites, online payment sites වලට පරිශීලකයා ඇතුලත් කරන තොරතුරු දෙස ඔවුන් අවධානයෙන් සිටිති.

මෙවැනි නවතම සංකල්පයක් සමග කලඑළි දුටු QHosts ට්‍රොජන් වැඩසටහනට ගොදුරු වූ පරිගණක සංඛ්‍යාව දහසක් පමණ වන බව වාර්තාවුණි. පැතිරයාම එතරම් විශාල නොවුනත් නව හානිකර වැඩසටහන් සම්ප්‍රදායකට මුලපුරමින් QHosts-1 මර්දනයට පත්විය. ඉන්පටන් QHosts පරම්පරාවක්ම ආරම්භවිය. ඉන් QHosts-113 මෑතකදී සොයාගැනුණු සංස්කරණයකි.

දෙවන පරම්පරාව

පරිගණකයේ hosts ෆයිලය වෙනස් කිරීම වෙනුවට පරිගණකය යොදාගන්නා DNS සර්වරයේ සම්මත IP ලිපිනය වෙනුවට ව්‍යාජ DNS සර්වරයක IP ලිපිනය ස්ථාපනය කිරීමට සමත් Zlob නමැති ට්‍රොජන් වැඩසටහනක් 2005 වසරේ දී හමුවිය. පරිශීලකයාට වඩාත් නොදැනෙන ආකාරයකට පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලා කිරීමට එය සමත්විය.

තුන්වන පරම්පරාව

2008 ජූනි මාසයේදී McAfee සමාගම විසින් ශ්‍රේණියේ මීළඟ පුරුක හෙළිදරවු කරනු ලැබුවේය. DNSChanger.f ට්‍රොජන් වැඩසටහන මෙතෙක් පැවති පරම්පරාවන් මෙන් නොව: ආසාදිත පරිගණකයේ DNS පද්ධතිය විකෘති කිරීමට අමතරව එම පරිගණකය පිහිටි LAN ජාලයේ අනෙකුත් සියලු උපාංගද ගොදුරු කරගැනීමට ඉලක්කකරගත්තකි. ඒ සඳහා පරිගණක ජාලයේ local DNS(බොහෝවිට රවුටරය) පද්ධතිය වෙත ප්‍රවේශය ලබාගෙන එහි DNS settings වෙනස් කිරීමට උත්සාහ දරයි.

සිවුවන/නව පරම්පරාව

කිසිඳු settings වෙනස් කිරීමකින් තොරව එක් ආසාදිත පරිගණකයකින් මුලු ජාලයක්ම ගොදුරු කරගැනීමට සමත් Trojan.Flush.M නමැති හානිදායක වැඩසටහන 2011 දෙසැම්බරයේ දී Symantec සමාගම විසින් හඳුනාගැණින. ආසාදිත පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් ජාලය තුල ව්‍යාජ DHCP සර්වරයක් ලෙස ක්‍රියාකරමින් සෙසු පරිගණක ව්‍යාජ DNS සර්වරයක් වෙත යොමුකිරීමට එය සමත්.

මෙලෙස ව්‍යාජ වෙබ්අඩවිවෙත යොමුකෙරෙන සෙසු පරිගණකද එම ට්‍රොජන් වැඩසටහනෙන් පහසුවෙන් ආසාදනය වීමේ හැකියාව පවතිනවා. පරිගණක ආරක්ෂාව පිළිබඳ සමාගම් වලට අනුව මෙමගින් ඉහළම තර්ජනයක් ඇත්තේ Wi-Fi ජාලයන් වෙත සම්බන්ධවන පරිගණකවලටයි. මක්නිසාදයත් ජාලයට සම්බන්ධවන කුමන හෝ ආසාදිත පරිගණකයක් මගින් කිසිවෙකුටත් නොදැනී ජාලයේ සෙසු පරිගණක සියල්ලම නොමග යැවෙන නිසාය. එම ජාලය තුල තිබෙන මෙහෙයුම් පද්ධති කුමක් වූවත් මෙම ප්‍රහාරයට ගොදුරුවේ.

නිගමනය

මුදල් සෙවීමේ මගක් ලෙස විනාශකාරී වැඩසටහන් යොදාගැනීමෙන් ඉදිරියට තවතවත් හානිකර වැඩසටහන් අලුතින් නිර්මාණය වනු ඇත. එමෙන්ම ඒවා තාක්‍ෂණිකව වඩාත් දියුණු තත්වයකට පැමිණෙනු ඇත. ජාලකරණය ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් එක් පරිගණකයකට ආසාදනය වීමෙන් සම්පූර්ණ ජාලයම පාවාදීම බරපතල තත්වයකි. මෙවැනි තත්වයන් හමුවේ කාලයක් තිස්සේ නොයෙක්දෙනා සිහිනමැවූ වයර්ලස් නිදහස නොබෝදිනයක නපුරු සිහිනයක් වනු ඇත්තේය.

පිළියම

 ට්‍රොජන් වැඩසටහන් පරිගණක වෛරස මෙන් ව්‍යාප්ත නොවේ. බොහෝවිට ඒවා පැතිරෙන්නේ පරිගණක පරිශීලකයාගේ නොසැලකිලිමත් බවින් විශ්වාසවන්තභාවයෙන් අඩු මෘදුකාංග ක්‍රියාකිරීමෙදී නොදැනුවත්වම ස්ථාපනය වන වැඩසටහන් ලෙසිනි. විශ්වාසවන්ත මෘදුකාංග පමණක් භාවිතයෙන්, අවිශ්වාසවන්ත ‍වෙබ්අඩවි, Wi-Fi ජාල වෙත පිවිසීම වැළකීමෙන් සහ ජාලකරණය කළ පරිගණක තුළ නිරෝගිමත් තත්වයක් පවත්වාගෙන යාමෙන් dnschanger අවධානම බොහෝදුරට අවම කරගත හැක.


යම්කිසි අයුරකින් ඔබ ආසාදනයට ලක්වුවහොත් යාවත්කාලීන කරනලද ප්‍රතිවෛරස මෘදුකාංගයකින් ට්‍රොජන් වැඩසටහන ඉවත්කරගන්න. ඉන්පසු වෙනත් නිරෝගී පරිගණකයක් මගින් අදාල dnschanger වැඩසටහනෙන් කරන ලද වෙනස්කම් යථාතත්වයට පත්කිරීම සඳහා මෘදුකාංගයක් බාගතකර ඔබේ පරිගණකය තුළ ක්‍රියාත්මක කරවන්න. ඔබේ රවුටරයේ DNS සැකසුම පරික්‍ෂාකර නිවැරදි කරගන්න.

Tuesday, May 8, 2012

Operation Ghost Click සහ ජූලි 9

2012 ජූලි 9 වන දින පටන් අන්තර්ජාලය භාවිතයේදී විශාල දුෂ්කරතාවකට මුහුණදීමට ලොවපුරා පරිගණක ලක්‍ෂ 3කට පමණ සිදුවන බව පසුගිය මාසයේ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්විය. වසර කීපයක් ඔස්සේ දිවයන ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය වන මෙහි සිදුවීම් පෙළ මෙසේය.

මීට වසර 5කට පමණ පෙර හැකර් කණ්ඩායමක් මුදල් සෙවීමේ අලුත් ක්‍රමයකට අතගැසුවේය. ඒ වෙබ් අඩවි තුල දැන්වීම් පළකර ඒවා වෙත පරිගණක පරිශීලකයන් බලහත්කාරයෙන් ගෙනඒමටය. ඒ සඳහා ලොවපුරා පරිගණක දහස්ගණනින් තම ග්‍රහණය නතුකරගැනීමට ඔවුන් DNSChanger පවුලේ trojan වැඩසටහන් නිර්මාණය කර වෙනත් මෘදුකාංග තුළ සඟවා වෙබ් අඩවි තුල පළ කර ලොව පුරා බෙදා හැරීය. ඒවායින් ආසාදනය වූ පරිගණකවල DNS පද්ධතිය වෙනස්කර ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ DNS server වෙත බිලීබාගත්තේය. මෙසේ ගොදුරුකරගත් පරිගණක ඉන්ඔබ්බට පිවිසෙන්නේ නිවැරදි වෙබ්අඩවි වලට නොව, දැන්වීම් පලකළ ව්‍යාජ වෙබ් අඩවිවලටය. නැත්නම් phishing අඩවිවලටය. මේ වෙබ්පිටු ඔස්සේ දැන්වීම් පෙන්වීමෙන් හා ඒවා Click කිරීමට පෙලඹවීමෙන් මේ හැකර් කණ්ඩායම ආදායම් ලැබූහ. වසර 5ක් තිස්සේ ඔවුන් මෙසේ පවත්වාගෙන ගිය සැලසුමෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14කටත් අධික බව වාර්තාවේ.

බලපෑමටපත් පරිගණක ඝනත්ව සිතියම
Windows  පරිගණක මෙන්ම Mac OSX පරිගණකද තම ජාලයට ඈඳා ගැනීමට ඔවුන් වෙනම ට්‍රොජන් වැඩසටහනක් ව්‍යාප්ත කළහ.


ඇමරිකානු අධිකරණයේ සහාය ඇතිව එරට FBI සමාගම විසින් ප්‍රතිවෛරස මෘදුකාංග සමාගමක් සමග "Operation Ghost Click" නමින් වසර 2ක් තිස්සේ පැවැත්වූ පරීක්‍ෂණ හා සෝදිසිකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස හොරරහසේ පවත්වාගෙන ගිය එම වංචනික DNS සර්වර් 2011 නොවැම්බර් 8 දින අත්අඩංගුවට ගැනීමට  FBI ආයතනයට හැකි වුණේය. ඒ ආමරිකාවේ චිකාගෝ හා නිව්යෝක් නගරවල කළ වැටලීම් වල ප්‍රතිඵලයක් ලෙසය. එහිදී එස්ටෝනියානු ජාතිකයින් හයදෙනෙක් සමගින් රුසියානු ජාතිකයෙක් මෙසේ අත්අඩංගුවට පත්වුණහ.

අත්අඩංගුවටගත් වංචනික DNS පද්ධති වසාදැමීමෙන්  ගොදුරුවී සිටි පරිගණක වෙත ලැබෙන DNS සේවාව අහිමිවීම වැළැක්වීම සඳහා ඒ ස්ථානයේ නිවැරදි DNS පද්ධතියක් ස්ථාපනය කිරීමට FBI සමාගම කටයුතු කලා. ඒ dnschanger වැඩසටහනට ගොදුරුවී සිටින පරිගණක යථාතත්වයට පත්කරගැනීමට අවකාශය හා කාලය ලබාදෙන තෙක් තාවකාලික සේවාවක් ලෙසිනි. එම තාවකාලික පද්ධතිය පසුගිය මාර්තු 8වන දින වසාදැමීමට නියමිතව තිබුන ද ඒ වන විටත් ලොවපුරා පරිගණක මිලියන භාගයක් පමණ යථාතත්වයට පත්කරගෙන නොතිබුණු හෙයින් වසාදැමීමේ දිනය ජූලි 9වන දින තෙක් කල් තැබුණා. එතෙක් එම DNS පද්ධතිය නඩත්තු කරනුයේ FBI ආයතනයේ මුදලින්ය. ඒ නිසා ජූලි 9වන දායින් පසු නැවත සලකාබැලීමක් කිසිසේත් නොකරන බවත් ඉන් පෙර තමතමන්ගේ පරිගණක යථාතත්වයට ගෙන ඒමට කටයුතු නොකළහොත් DNS සේවාව වසාදැමීමෙන් පසු සිදුවන විපාක වලට තම ආයතනය වග නොකියන බවත් FBI සමාගම අධිකරණයට පවසා ඇත.

සාමාන්‍ය ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතයෙන් dnschanger ට්‍රොජන් වැඩසටහන ඉවත්කරගත හැකි නමුත් ට්‍රොජන් වැඩසටහනෙන් පරිගණක මෙහෙයුම් පද්ධතියේ settings වල සිදුකළ වෙනස්කම් එමගින් යථාතත්වයට පත් කරගත නොහැකිය. එම settings යථාතත්වයට පත්කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම උපකාරක මෘදුකාංග ද වෙනම ලබාගැනීමට ඇත. ඔබගේ පද්ධතියේ DNS settings නිවැරදිදැයි පරික්‍ෂාකරගැනීම සඳහා http://dns-ok.us/ වෙබ් අඩවිය වෙන්කර ඇත. 

ඔබේ පරිගණකය ආසාදිත නම් එහි දැක්වෙන රූපසටහනෙහි පසුබිම රතු පැහැයෙන් දිස්වේ. ඔබේ පරිගණකය ආසාදිත යයි හැඟේනම් යාවත්කාලීන කරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගයකින් පරිගණකය scan කර trojan වැඩසටහන ඉවත්කරගැනීමෙන් අනතුරුව ඉහත http://www.dcwg.org/ වෙත ප්‍රවේශ වන්න. සියලු උපදෙස් පියවරෙන් පියවර එහි දක්වා ඇත.

Tuesday, May 1, 2012

Bluetooth කතන්දරය



 කියූ පමණින් ලොකු කුඩා සියළු දෙනාගේ සිහියට නැගෙන්නේ ජංගම දුරකථන දත්ත හුවමාරු කිරීම සදහා භාවිතා කරන රැහැන් රහිත මාධ්‍යයකි. නමුත් මෙම කියනා නාමය ක්‍රිස්තු වර්ෂ 958 දක්වා ඈත අතීතය හා සම්බන්ධ බව ඔබ දන්නවාද? 1994 වර්ෂයේදී එරික්සන් සමාගමේ සේවය කල ජැප් හාට්සන් සහ ස්වෙන් මැටිසන් යන පර්යේශකයින් දෙදෙනා විසින් එකවර උපාංග 8ක් අතර ගැටලුවකින් තොරව වයර්ලස් ආකාරයට දත්ත හුවමාරු කල හැකි තාක්ෂණයක් සොයාගන්නාලදී. එකල එය MC – link [Multicommunicator link] නම් විය. දැනට භාවිතා වන Bluetooth තාක්ෂණයේ ආරම්භය වන්නේ මෙම MC-link තාක්ෂණයෙනි.


Jaap HaartsonSvan Mattison
MC – link තාක්ෂණයට Bluetooth යන නම ලැබී ඇති ආකාරය අපූරුය.  ක්‍රිස්තු වර්ෂ 958දී ඩෙන්මාකයත් නොර්වේ රටේ කොටසකුත් පාලනය කල හෙරල්ඩ් බ්ලූටූත්(Herald Bluetooth) නම් රජවරයෙකු එකල එකිනෙකා අතර ගැටුම් ඇති කරගත් ගෝත්‍ර 8 ක් සමගි කිරීමට සමත් වුනි. මෙම MC –link තාක්ෂණයටද එකවර උපාංගයන් 8 ක් අතර ගැටලුවකින් තොරව දත්ත හුවමාරු කරන්නට හැකි වීම හේතුවෙන් එදා හෙරල්ඩ් බ්ලූටූත් රජුට ගෝත්‍ර 8ක් සමගි කරන්නට පුළුවන් වූවා සේ මෙම MC -link තාක්ෂණයට විවිධ විද්‍යුත් උපාංග 8 ක් සමගි කරන්නට හැකි වීම නිසා මෙම MC –link තාක්ෂණය හෙරල්ඩ් බ්ලූටූත් රජුගේ කතාව පාදක කරගනිමින් Bluetooth යනුවෙන් නම්කෙරිනි. බ්ලූටූත් සංකේතය පවා නිර්මෘණය කෙරුනේ හෙරල්ඩ් බ්ලූටූත් ගේ නමේ මුල් අකුරු රූනික් අක්ෂරමාලාව ඇසුරින් නිරූපණය කර එක් කිරීමෙනි.



Bluetooth තාක්ෂණය සමහරක් වයර්ලස් තාක්ෂණයන්ගෙන් වෙනස් වන්නේ මෙම තාක්ෂණයට පෙර සදහන් කල පරිදිම එකවර විවිධ උපාංග 8 ක් අතර දත්ත හුවමාරු කරන්නට හැකිවීමත්, IR (අධොරක්ත) වලදී මෙන් උපාංග කිට්ටු කර එක එල්ලේ තැබීම අනවශ්‍ය නිසාත්, මීටර සියයක පමණ වපසරියක් ඇතුලත ඹ්නෑම තැනක ඇති උපාංගයක් සමග අනෙක් උපාංගයට පහසුවෙන් සම්බන්ධ වීමට හැකි වීමත්, අඩු බල රේඩ්යෝ තරංග දත්ත සම්ප්‍රේශණය සදහා යොදා ගැනීමත් සහ අඩු බලශක්තියක් වැය කරමින් ප්‍රයෝජන ගන්නට හැකි වීමත් නිසාය.


Bluetooth තාක්ෂණයේදී යොදාගන්නේ 1 mW සිට 100 mW දක්වා වන ශක්ති වැය වීමක රේඩියෝ තරංගයන්ය. එය දුරකථන ඇමතුමකදී භාවිතා කරන 1W සිට 3W ශක්තියට වඩා 1000-3000 ගුණයක අඩු ප්‍රබලත්වයකි. Bluetooth ප්‍රබලතාව අනුව ජව කාණ්ඩ තුනක් හඳුන්වාදී ඇත.


කාණ්ඩය
සංඥා ප්‍රබලතාව
ආවරණය
Class 1
100mW
20dBm
100m
Class 2
2.5mW
4dBm
10m
Class 3
1mW
0dBm
1m

ජාලකරණය සහා භාවිතාවන අනෙකුත් බොහෝ රැහැන් රහිත රේඩියෝ සම්ප්‍රේෂණ තාක්‍ෂණ මෙන්ම Bluetooth තාක්ෂණයද සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නේ ISM(Industrial Scientific Medical) රේඩියෝ තරංග කලාපයයි. මන්දයත් බොහෝරටවල බලපත් රහිතව භාවිත කළහැකි රේඩියෝ තරංග කලාපයක් වන බැවිනි. Bluetooth සන්නිවේදනයේදී FHSS [Frequency Hopping Spread Spectrum] තාක්ෂණය භාවිතයට ගැනේ. ඒ අනුව 2.4Ghz කලාපය තුල වෙන්කරගත් 1Mhz බැගින් වූ සංඛ්‍යාත නාලිකා 79ක් නිර්මාණය කර ඒවා අතර මාරු වෙමින් සන්නිවේදනය සිදුකෙරේ. මෙහිදී තත්පරයක් තුලදී 800වතාවක් නාලිකා අතර මාරුවෙනු ලැබේ. එමගින් එකම ප්‍රදේශයක පිහිටි විවිධ Bluetooth උපාංග අතර සන්නිවේදනයන් එකිනෙක බාධාවීමේ හැකියාව අවම කර ඇත. එමෙන්ම තෙවන පාර්ශවයකට මෙම සන්නිවේදනය වන තොරතුරු අහුලාගැනීමේ හැකියාවද අවම වී යයි.
මේ වන විට Bluetooth තාක්ෂණයේ සංස්කරණ 4ක් හඳුන්වා දී ඇත. දත්ත හුවමාරු වන වේගය පාරිසරික සාධක මෙන්ම භාවිතකෙරෙන Bluetooth සංස්කරණය මත ද රඳාපවතී. 1994 වර්ෂයේදී පැමිණි Bluetooth 1.0 සංස්කරණයේදී ලබාගත හැකි උපරිම දත්ත හුවමාරු වේගය 1 Mbps වුණි. 2004 වර්ෂයේදී පැමිණි Bluetooth 2.0 සංස්කරණයේදී එය 3 Mbps විය. 2009 දී පැමිණි Bluetooth 3.0 හි උපරිම දත්ත හුවමාරු වේගය 480 Mbps වේ. නවතම සංස්කරණය Bluetooth 4.0ය.


වර්තමානයේදී PAN(Personal Area Network) ජාල ගොඩනැගිමේදී Bluetooth තාක්ෂණය බහුලව භාවිතයට ගැනේ. Bluetooth හි මූලික අරමුණ වනුයේ ජංගම උපාංග අතර ජාලකරණයයි. ඒ අනුව එය සැලසුම්කර ඇත්තේ එම උපාංග වලට දැරිය හැකි තත්ව යටතේ ක්‍රියාකිරීමටයි. එනම් අඩු බලයකින් දිගු වේලාවක් වැඩි දත්ත ප්‍රමාණයක් සන්නිවේදනය කිරීමට අවකාශ සැලසීමයි. ඒ අනුව Bluetooth යනු WiFi වැනි ජවසම්පන්න සන්නිවේදන තාක්ෂනණයන්ට කිසිලෙසකින්වත් විකල්ප තාක්ෂණයක් නොවන බව මතකතබාගැනීම වටී.


Bluetooth සඳහා IEEE(Institute of Electrical and Electronic Engineering ) ආයතනයේ ප්‍රමිතිකරණය IEEE 802.15.1 වේ. Bluetooth තාක්ෂණය දියුණු කරමින් එහි අනාගතය ගැන තීරණය ගන්නේ Bluetooth තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා සමාගම් වලින් ලැබෙන ආධාර මුදලින් යැපෙන, ලාභ නොලබන ආයතනයක් වන Bluetooth Special Interest Group ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනය Ericsson, IBM, Intel, Nokia සහ Toshiba යන සමාගම් විසින් පිහිටවනු ලැබුණි. මේ වන විට මෙම SIG ආයතනය සමග සම්බන්ධව Bluetooth තාක්ෂණයෙන් වැඩගන්නා සමාගම් ගණන 16000 කටත් අධිකය.

Thursday, April 5, 2012

Google Chrome හැක්වෙයි

ලෝකයේ බහුලවම භාවිත වෙබ් බ්‍රවුසර් අතරින් තෙවන ස්ථානයේ රැදී සිටින්නේ Google Chrome ය. Mozilla Firefox ආදර්ශයට ගනිමින් Google සමාගම ආරම්භ කළ Chromium නම් ව්‍යාපෘතියක් තුලින් Chrome උපන්නේය. ඒ Google සමාගමේ නිල වෙබ් බ්‍රව්සරය ලෙස 2008 දීය. මෑතක් වනතුරු hack නොවී තිබුණු ප්‍රධානපෙලේ එකම වෙබ් බ්‍රවුසරය ද Chrome විය. කෙසේවෙතත් ඒ වාර්තාව බිඳහෙලමින් 2012 මුල්භාගයේදී Chrome පිටපිට තෙවතාවක්ම ප්‍රසිද්ධියේ හැක්වුණේය. ඒ සුප්‍රකට hacking තරඟාවලී දෙකක් වන Pwn2Own හා Pwnium තරඟාවලී තුලදීය.


 'Pwn' යන යෙදුමෙන් නිරූපණය වනුයේ 'Hack' යන වදනයි


Pwn2Own තරඟාවලිය ආරම්භවුණේ 2007 දීය. එහි විශේෂත්වය වන්නේ සාර්ථක හැක් කිරීමක් කල පසු එම උපාංගය හැකර් තරඟකරුවාට ත්‍යාගයක් ලෙස පිරිනැමීමයි. මීට අමතරව එක් එක් අභියෝගය සඳහා සැලකිය යුතු ප්‍රමාණයේ මුදල් ත්‍යාගයක් ද හිමි වේ. මේ තරඟාවලිය සඳහා Microsoft, Apple, Google වැනි ලොව ප්‍රකට සමාගම් අනුග්‍රහය දක්වයි- ඒ තම නිපැයුම්වල ආරක්‍ෂිතභාවය පරික්‍ෂාකරගැනීමේ අරමුණිනි. තරඟයේ 'Web Application' අංශයේ ප්‍රධාන ඉලක්ක ලෙස ඉදිරිපත් කර ඇත්තේ Mozilla Firefox, Microsoft Internet Explorer, Apple Safari ආදි බ්‍රව්සර්ය. Google Chrome මේ සඳහා ඉදිරිපත් වූයේ 2009 දීය. එදාපටන් පැවැත්වූ සෑම තරඟාවලියකදීම අනෙක් බ්‍රවුසර් සියල්ල තරඟකරුවන්ගේ විවිධාකාර හැකර් ප්‍රහාර හමුවේ අනාරක්‍ෂිත වුවත් Chrome හැක් කිරීමට කිසිවෙකුටත් නොහැකිවිය.

VUPEN Security කණ්ඩායම
2012 වසරේ තරඟාවලිය පසුගිය මාර්තු 7, 8, 9 දා පැවැත්වුණු අතර එහිදී VUPEN Security නමින් ඉදිරිපත්වූ කණ්ඩාමක් අතින් Google Chrome හැක්වීමට ලක්වුණේ තරඟව ආරම්භවී විනාඩි 5ක්වත් ගතවීමටත් පෙරය. ඒ සඳහා Chrome බ්‍රව්සරයේ Flash උපයෝගීතා යෙදුමේ දුර්වලතා 2ක් උපයෝගී කරගත් බව ප්‍රකාශයට පත්විණි. කෙසේනමුත් VUPEN කණ්ඩායමට තම හැක් කිරීමේ ක්‍රමවේදය හෙලි නොකිරීමට Pwn2Own 2012 තරඟයේ නීතිරීති උපකාරී වී තිබෙනවා.

2011 තරඟාවලියෙන් පසුව Pwn2Own නීතිරීති වෙනස් කිරීමකට ලක්වුණා. නව නීතියට අනුව තරඟකරුවන්ට තමන් සිදුකල හැක්කිරීමේ පියවර හෙළි නොකර අභියෝග ජයගත හැකි බව තීන්දුවිය. එම නව කොන්දේසි වලට විරුද්ධත්වය පළකරමින් 2012 සිට Pwn2Own වෙත තමන් දක්වන සහයෝගය ඉවත්කරමින් Pwnium නමින් වෙනම හැකින් තරඟාවලියක් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කළේය. ඇමරිකානු ඩොලර් මිලියන 1ක මුලු ත්‍යාග මුදලක් වෙන්කර ඇති Pwnium තරඟාවලියෙහි ඉලක්කය Chrome වෙබ් බ්‍රව්සරයයි.

Pwnium හි ප්‍රථම තරඟය ද පසුගිය මාර්තු 7, 8, 9 යන දිනවලදී (Pwn2Own හා සමගාමීව) පැවැත්වුණු අතර එහිදී ද Chrome සාර්ථකව දෙවතාවක් හැක්කිරීමට ලක්විය. එහිදී ඩොලර් 120000ක මුදලක් දිනාගැනීමට එම තරඟකරුවන් දෙදෙනා සමත්වූ අතර Pwnium නීතිරීති අනුව හැක්කිරීමේදී ඔවුන් අනුගමනය කළ සම්පූර්ණ ක්‍රියාවලියම හෙලිකිරීමට සිදුවිය. තරඟාවලිය අවසානයේ දී Chrome හි දුර්වලතා 5ක් අනාවරණය විණි. ඒ අනුව යමින් පැය 24ක් ගතවීමටත් මත්තෙන් ඒ සඳහා පිළියම් ලෙස Patches නිකුත්කිරීමට Google සමාගම කටයුතු කළේය. Chrome වෙබ් බ්‍රවුසරයේ autoupdate වීමේ ක්‍රියාවලිය නිසා තවදුරටත් ඒ හැක්කිරීම් ලොවපුරා ඇති Chrome බ්‍රවුසර් සඳහා වලංගුවන්නේ නැත.



මේ අනුව බලන විට හැක්වීම-නොවීම කෙසේවෙතත් අනෙක් web browser හා සසඳනවිට Google සමාගම තම Chrome බ්‍රවුසරය සඳහා ලබාදෙන සහාය ඉහළ මට්ටමක පවතින බව පෙනේ. ඒ අනුව තවදුරටත් ආරක්‍ෂාකාරීම වෙබ් බ්‍රවුසරය ලෙස කෙතරම් කාලයක් Chrome ඉදිරියෙන්ම සිටිනු ඇත්ද?.

Thursday, March 22, 2012

Windows 8 නව විශේෂාංග

Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන Windows මෙහෙයුම් පද්ධති පෙළේ නවතම සාමාජිකයා Windows 8ය. වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතියෙන් පසු එන පෙරලිකාරම මෙහෙයුම් පද්ධතිය Windows 8 වනු ඇති බව එම සමාගම විශ්වාසය පළකරනවා. මෙම නව තාලයේ මෙහෙයුම් පද්ධතිය අත්හදා බැලීමේ Alpha version (Developer Preview) ලෙස පසුගියදා නිදහස් කෙරුණා. ඒ 2011 සැප්තැම්බර් 13 වන දින ආරම්භ වූ BUILD2011 සමුළුවේදීය. වින්ඩෝස් 8 හි අලුත් ගතිගුණ සාමාන්‍ය ජනයාට බලාකියාගැනීම සඳහා නොමිලේ දෙන Windows 8 Consumer Preview නිකුත්කෙරුණේ පසුගිය පෙබරවාරි 28 දින දීය.


මින්පෙර නිකුත්කරණ ලද මෙහෙයුම් පද්ධති මෙන් නොව Windows 8 නිමවා තිබෙන්නේ desktop, laptop, tablet, smartphone යනාදී සියළු පරිගණක මෙවලම් මත ධාවනය කළහැකි පොදු මෙහෙයුම් පද්ධතියක් ලෙසය.


නව මෙහෙයුම් පද්ධතියේ විශේෂාංග කීපයක්..

  • Windows 7 මත ක්‍රියාත්මක වන සියලු යෙදුම් මෘදුකාංග Windows 8 පද්ධතිය මත ද ක්‍රියාකරයි.
  • Metro UI(User Interface) - ස්පර්ශකසංවේදී තිර තාක්‍ෂණය මත පදනම් වූ අතුරු මුහුණතකි. වෙබ්/ක්ලවුඩ් ප්‍රවණතාවයන් මත ගොඩනැග්‍රණු බව සඳහන්ය.
  • පද්ධති ප්‍රවේශණ කාලය තත්පර 10කටත් වඩා අඩුවීම
  • මෙහෙයුම් පද්ධතිය මගින් භාවිතවන RAM මතක ප්‍රමාණය 210MB පමණ වන ලෙස අඩුකර තිබීම
  • File copy වින්ඩෝව නවීකරණය වී ඇත
  • iso ගොනු සඳහා සහාය සමග Windows Explorer තුළට ribbon මුහුණතක් එක්කර තිබීම
  • Security updates පිළිබඳ දැනුම්දීම් login screen එකේ දකුණු පස යටින් පමණක් පෙන්නුම් කරයි
  • වැඩිදියුණු කරන ලද Task Manager. applications තිරයේ දිස්නොවන විට Task Manager මගින් suspend(තාවකාලිකව අක්‍රිය) කිරීමේ හැකියාව
  • පද්ධතිය අලුතින් ස්ථාපනය කිරීම වෙනුවට "Reset PC" පහසුකම(Windows 8 අලුතින් install කළා හා සමාන තත්වයකට පද්ධතිය ගෙන ඒමට)
  • පද්ධතියේ සැකැස්ම(Settings) ප්‍රතිපිහිටුවීමට සඳහා "Refresh PC" පහසුකම.
  • මෙහෙයුම් පද්ධතියට අන්තර්ගතකරන ලද HyperV Virtualization මෘදුකාංගය. (වෙනත් Operating Systems Windows 8 තුලදී ධාවනය කිරීම සඳහා)
  • වැඩිදියුණු කරන ලද multi-monitor සහාය සහ පහසුකම්
  • Internet Explorer 10 සඳහා multi-touch සහාය
  • වැඩිදියුණු කරන ලද Windows Magnifier උපයෝගීතා යෙදුම
  • Cloud apps සඳහා වෙන්කර ඇති SkyDrive ගබඩාකරණ අවකාශය
  • උපාංග සඳහා syncing පහසුකම්
  • මෘදුකාංග download කර ගැනීම සඳහා Windows store සහාය
  • NFC රැහැන්රහිත සන්නිවේදන සහාය
  • මෙහෙයුම් පද්ධතිය සඳහා ප්‍රති වෛරස උපයෝගීතා මෘදුකාංගයක්
  • ටැබ්ලට් පරිගණක සඳහා ජනප්‍රිය ARM processor සඳහා සහාය
  • Picture password පහසුකම.(ඡායාරූපයක්, පින්තූරයක් රහස්පදයක් සේ භාවිතා කිරීමේ හැකියාව)
Metro User Interface
Windows 8 මෙහෙයුම් පද්ධතියට මෙන්ම Windows 8 developer preview සඳහා දිගටම නොමිලේ updates දීමට Microsoft සමාගම කටයුතු කරනු ඇත. තවමත් Windows 8 සංස්කරණ මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශයට පත්කර නොමැත.

Windows 7ට පසුව එන මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කළේ eight යන කේතනාමයෙනි. මෙතෙක් කල් මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයුම් පද්ධති නිකුත්කළේ කේතනාමය නොවන වෙළඳනාමයකිනි. Windows eight නමේ ජනප්‍රියත්වය හමුවේ මේ සම්ප්‍රදාය ඔවුන් තවදුරටත් රැකගනීවිද යන වග තවමත් පැහැදිලි නම් නැත.

Sunday, March 18, 2012

Anonymous OS උගුල

පසුගිය 12වන දා ලොව ප්‍රකට Anonymous හැකර් කණ්ඩායමේ නමින් මෙහෙයුම් පද්ධතියක් අන්තර්ජාලයට එක්වුණා. මෙය මුලින්ම SourceForge අඩවියේ පළවුණු අතර සුවිශාල ලෙස ප්‍රචලිත්වයක් අත් කරගත්තා. අධ්‍යාපනික බෙදාහැරීමක් වශයෙන් සලකුණු කොට තිබුණු එහි වැඩිදුරටත් සඳහන් වූයේ වෙබ් අඩවිවල ආරක්‍ෂාව බිඳහෙලිය හැකි යෙදුම් එහි අඩංගු බවයි. නමුත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එය තම වෙබ් අවකාශයෙන් ඉවත්කිරීමට Sourceforge පරිපාලකයන් කටයුතු කළේ එහි විනිවිදභාවය පැහැදිලි නොමැති බව ප්‍රකාශයට පත්කරමිනි. කෙසේ වුවද නොබෝ වේලාවකින් විවිධ අඩවි කීපයක් තුලම බාගත කරගත හැකි පරිද්දෙන් Anonymous OS පළවිණි.


ලොවපුරා නොයෙකුත් සමාගම් විවිධ මතවාද ගොඩනගන්නට වූහ. වෙබ් ජාලය බිඳහෙලීමට ඇනොනිමස් සූදානම් වන  බව කෙනෙකු මත පලකරද්දී තවකෙකු කියාසිටියේ මෙය ඇනොනිමස් ජාලය ලොවපුරා ව්‍යාප්තකිරීමේ උත්සාහයක් බවයි. ඒවා එසේ වෙද්දී, තම නිල Twitter පිටුව මගින් මෙම මෙහෙයුම් පද්ධතිය පිළිබඳ ප්‍රකාශයක් නිකුත්කරමින් Anonymous කණ්ඩායම දන්වා සිටියේ එය තමන් විසින් නිකුත්කරණ ලද්දක් නොවන බවත් එය භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.

නව MATE Desktop Environment යොදා ඇති මෙම ව්‍යාජ මෙහෙයුම් පද්ධතිය නිමවා ඇත්තේ Ubuntu 11.10 සංස්කරණය ඇසුරෙනි. තවද එය තුල Trojan වැඩසටහන් අඩංගු බවද ප්‍රකාශයට පත්විණි.


Anonymous Operating System පලවීමත් සමග කෙතරම් අනවබෝධයක් ඇතිවීද යත් ලොවපුරා විසිරී සිටින සමහරක් ඇනොනිමස් සාමාජිකයින් පවා මෙය අත්හදාබලන්නට ගොස් හොඳ පාඩමක් ඉගෙන ඇති බවද වාර්තාවේ. ඉතින් එවැනි තත්වයකදී මෙය download කරගැනීමට නිකුත්වී දින 2ක් ගතවන්නටත් මත්තෙන් ලක්‍ෂ 3කටත් ආසන්න පිරිසක් විසින් බාගතකරගත් බව ඇසීමෙන් පුදුමයට පත්විය යුතු නැත. එය කෙසේවුවත් ඇනොනිමස් නාමය ඇඟේ ගාගන්නට දඟලන අයටත් දුරදිග නොබලා කටයුතු කරන කාට කාටත්: AOS කාලයකට මතක හිටින පාඩමක් වනු ඇත.

Thursday, March 15, 2012

Panoramic කැමරා බෝලය

පරිදර්ශක(Panoramic) ඡායාරූප ගැනීම තවදුරටත් සංකීර්ණ කාර්යයක් නොවේ. දැන් එය බෝලයක් විසිකිරීම තරම් සරල කර්යයකි. මේ සදහන් කරන්නට යන නව නිර්මාණයේ ඇති විශේෂත්වය වන්නෙ මෙමගින් ගනු ලබන පින්තූර සාමාන්‍ය Panoramic ඡායරූප ගැනීමක් නොවීමයි. බර්ලින් නුවර Technische Universtität විශ්ව විද්‍යාලයෙහි උපාධිදාරී Jonas Pfeil විසින් මෙම අපූරු කැමරාව නිර්මණය කර තිබේ. බැලුබැල්මට පාපන්දුවක් සේ පෙනෙන මෙම බෝලය මත ස්ථීර ලෙස නාභිගත කරන ලද 2MP කැමරා 36කි. සාමාන්‍ය Panoramic ඡායාරූප උපරිම වශයෙන් අංශක 360කට සීමාවෙද්දී මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙමගින් පූර්ණ ගෝලාකර panoramic ඡායරූප ගැනිමට පුලුවන් වීමයි.

ඡායාරූපයක් ගැනීමට ඔබ කළයුත්තේ බෝලය ඉහළට විසිකිරීම පමණයි. බෝලය ඔබේ අතින් ගිලිහෙනවාත් සමග එහි ඇති ත්වරණමානයෙන් බෝලයේ මුල් ත්වරණය මනිණු ලැබේ. එමගින් ස්වයංක්‍රීයව බෝලය ළඟාවන උපරිම උස සහ එයට ගතවන කාලය තීරණය කරගනු ලැබේ. දැන් මෙම බෝලය ඉහලම ලක්ෂයට ලඟා වූ සැණින් මෙහි ඇති කැමරා 36 මගින් එකවර ඡායාරූප ගැනීම සිදුකරයි. ඉන්පසු ඔබ කළයුතුව ඇත්තේ ඉහළට ගිය වේගයෙන්ම ආපසු පැමිණෙන බෝලය රැකගැනීමයි. Foam ආවරණයකින් බෝලය වටකර ඇති මුත් මෙතෙක් එය අතහැරීමට තරම් එහි නිර්මාපකයන් සූදානම් නැති බවයි පෙනෙන්නේ.



මෙසේ ගන්නා ලද ඡායාරූප එකතුව USB සම්බන්ධතාවක් මගින් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් අනතුරුව විශේෂයෙන් සකසන ලද මෘදුකාංගයක් මගින් ගෝලාකාර panorama දර්ශනය බලාගත හැක.

මෙම අපූරු නිපැයුම සඳහා Pfeil ගේ මිතුරන් වන Kristian Hildebrand, Carsten Gremzow, Bernd Bickel සහ Marc Alexa යන අයද දායක වී ඇත.


වැඩි විස්තර සඳහා http://jonaspfeil.de/ballcamera වෙබ් අඩවියට පිවිසෙන්න.

Wednesday, March 14, 2012

Compression හා Decompression ගැන යමක්...

සම්පීඩනය කිරීම මඟින් බලාපොරොත්තුවන්නේ ගොනුවක් ගබඩාකිරීමේදී අත්පත් කරගන්නා අවකාශයේ ප්‍රමාණය අවම කිරීම ය. File එකක් නිර්මාණයවන්නේ මෘදුකාංගයකට හෝ පරිගණක පරිශීලකයාට තේරුම්ගත හැකි, භාවිත කළ හැකි ආකෘතියකටය. පරිගණනයේ සාමාන්‍ය රීතියක් හැටියට file size එක හැකිතාක් අවම ලෙස තබාගන්නා ලෙසයි බොහෝ මෘදුකාංග ක්‍රියාකරන්නේ. ඒ අනුව යම්යම් file format තරමක්දුරට සම්පීඩිත තත්වයේ පවතිනවා.

ගොනුවක දත්ත ආකෘතිගත කර ඇත්තේ අදාල මෘදුකාංගයකට කියවා තේරුම්ගත හැකි ආකාරයකටය.

සම්පීඩනය මඟින් කෙරෙනුයේ ගොනුවේ දත්ත රටාව ඇසුරින් වෙනත් දත්ත රටාවක් නිර්මාණය කිරීමයි. මෙම නිර්මාණය කරගත් නව දත්ත රටාව මුල් ගොනුවට වඩා කුඩා වුවත් මුල් ගොනුවේ අඩංගු වූ දත්ත සියල්ල වෙනත් අයුරකින් නිරූපණය කර ඇත. එබැවින් ගොනුව සම්පීඩනය වී ඇතැයි කියමු.

සම්පීඩිත තත්වයේ ගොනුවේ දත්ත රටාව තවදුරටත් පෙරකී මෘදුකාංගය මගින් කියවා තේරුම්ගත නොහැක. ගොනුව නැවත භාවිත කළහැකි තත්වයට ගෙනඒමට නම් අසම්පීඩනය(decompress) කර මුල් තත්වයේ ගොනුව ප්‍රතිනිර්මාණය කරගතයුතුය.

Lossless Data Compression/Decompression

Decompression සඳහා බොහෝවිට කෙරෙනුයේ compress කිරීමේදී භාවිතාකළ ක්‍රියාපටිපාටිය ආපස්සට කිරීමයි. එමගින් සම්පීඩිත ගොනුව කියවා එහි දත්ත රටාව ඇසුරින් මුල්ගොනුවෙහි වූ දත්ත රටාව යලි නිර්මාණය කෙරේ.

Compression/decompression තත්වයන් රඳා පවතින්නේ සම්පීඩනය/අසම්පීඩනය සඳහා භාවිතා කරන මෘදුකාංගයේ වර්ගය මත නොව; එම කාර්යයට භාවිත කරන ඇල්ගොරිතමට(ක්‍රියාපටිපාටියට) අනුවයි. (උදා: Huffman, PPM, LZ, ...) සමහරක් ගොනු ආකෘති සම්පීඩනය කිරීමෙහිලා සමහරක් ඇල්ගොරිතම උචිත වුවද සියලු ගොනුවර්ග සඳහා ප්‍රමාණවත් සම්පීඩනයක් ගෙන නොඑන්නට පුලුවන. එබැවින් විවිධ තත්වයන්ගේ ගොනු සඳහා විවිධ වූ ඇල්ගොරිතම භාවිතයට ගැනේ.

මුල් ගොනුවේ දත්ත රටාව, දත්ත ප්‍රමාණය මෙන්ම භාවිතාකරන ඇලිගොරිතමය අනුව ද සම්පීඩිත ගොනුවේ දත්ත රටාව ද, ප්‍රමාණය ද, ගතවන කාලය ද තීරණයවේ.

ප්‍රමාණය හා ගතවන කාලය ඇල්ගොරිතම මත රඳාපවතී


සම්පීඩනය කිරීමේ වාසි/අවාසි:
  • විශාල දත්ත ගොනු ඊට වඩා කුඩා දත්ත ගොනු මගින් නිරූපණය කිරීමෙන් ගබඩාකරණය සඳහා වැයවන ඉඩකඩ අවමවීම
  • ගොනුවේ ප්‍රමාණය කුඩාවීම නිසා upload, download ආදී සම්ප්‍රේෂණ කටයුතු සඳහා ගතවන කාලය අඩු වීම
  • සම්පීඩිත තත්වයේදී මුල් ගොනුවේ ආකෘතිය නොමැති බැවින් සාමාන්‍ය මෘදුකාංග මගින් භාවිත කළ නොහැකිවීම
  • compression, decompression සඳහා පරිගණකයේ සැකසුම් බලය(processing power) හා අමතර කාලයක් ගතවීම

Tuesday, March 13, 2012

Right Click මෙනුවට කැමති වැඩසටහනක්

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද.


මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor වැඩසටහන විවෘත කරගන්න.

මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell වෙත පිවිසෙන්න. මීළගට Shell යන ෆෝල්ඩරය රයිට් ක්ලික් කර, ලැබෙන option අතරින් New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස රයිට් ක්ලික් කල විට ලැබිය යුතු ඔප්ෂනයට නමක් ලබාදෙන්න. මීළගට සාදාගත් Key එක රයිට් ක්ලික් කර New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස command යන්න සටහන් කර OK කරන්න. මීළගට අවසානයේ සාදාගත් command Key එක මත ක්ලික් කර වම් පසින් දිස්වන Default අයිකනය ඩබල් ක්ලික් කරන්න.දැන් විවෘත වුනු Edit String මෙනුවෙහි Value data ස්ථානයට රයිට් ක්ලික් මෙනුවට ඇතුලත් විය යුතු වැඩසටහන පරිගණකයේ ඇති පාත් එක නිවැරදිව සටහන් කර OK කරන්න.

 යම් වැඩසටහනක පාත් එක ලබා ගැනීම සදහා කීබෝර්ඩ් එකෙහි ඇති Shift යතුර සමග අදාල වැඩසටහනේ අයිකනය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Copy as path තොරන්න.

Sunday, March 11, 2012

වැළලීගිය ඇපල් සිහිනය

Apple ඉතිහාසය විදහාපාන ලොව විශාලතම සහ දුලබම අයිතමයන් ගොනුව මෑතකදී අනාවරණය විය. 1976 සිට මෑතකාලය දක්වා දිවයන මෙම එකතුවට හිමිකම්පාන්නේ එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් සරසවියයි. නමුත් අදටත් එය මහජනයාගෙන් වසන්කර තබාගැනීමට ඔවුන් ක්‍රියා කරතිබෙන්නේ මෙම දුර්ලබ එකතුවට ජනතාපැමිණීමෙන් වියහැකි හානි පිළිබඳ සැලකීමෙන් බව සඳහන්වේ.

ලිපිලේඛන, දෘඩාංග, මෘදුකාංග, පටිගතකරන ලද සම්මුඛසාකච්ඡා ආදිය ඇතුලත් මෙම එකතුව සරසවිය වෙත ලැබුණේ Apple සමාගම විසින් 1997දී කළ පරිත්‍යාගයක් ලෙසිනි. අනාගතයේ යම්දිනෙක ස්ටැන්ෆෝඩ් සරසවිය සමග ඒකාබද්ධව තම සමාගමේ ඉතිහාසය විදහා දක්වන කෞතුකාගාරයක් නිමැවීමේ බලාපොරොත්තුවෙන් Apple සමාගම 1997දී කළ මෙම පරිත්‍යාගය ටිකින්ටික අමතකවී ගොස් වැළලීගිය සිහිනයක්ම බඳුවිය. සමාගමෙන් පරිත්‍යාගකළ එකතුවට අමතරව පසුකාලීනව එහි සේවකයන් විසින් කළ පරිත්‍යාගද එකතුව තුළ ඇතුලත්වී ඇත.


1976 වර්ෂයේදී ඇපල් සමාගම ආරම්භ කළේ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් විසිනි. නමුත් වසර 1985දී ඇපල් හි අධ්‍යක්‍ෂක මඩුල්ල සමග ඇතිකරගත් අමනාපයක් හේතුවෙන් ස්ටීව් ජොබ්ස් තම සමාගමෙන් ඉල්ලාඅස්විය. 1997 වසරේදී නැවතත් ඇපල් සමාගම හා එක්වීම නිමිත්තෙන් ජොබ්ස් මෙම පරිත්‍යාගය සිදුකරන්නට ඇත. සමහරක්විට තම ජීවන වික්‍රමය අනාගත ලොවවෙනුවෙන් සුරකින්නටයයි ඔහුට සිතෙන්නට ඇත. ඔහු ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ ඉගෙනුම ලැබුවෙකු නිසාවෙන්ද එය සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන ආ නිසාද එය තෝරාගන්නට ඇතැයි සිතිය හැක.

එකතුව තුළ අඩංගු එක් රසවත් ලිපියක් මෙසේය. එවකට එම ලිපියෙහි රචකයා විසින් තම මිතුරෙකු වෙත තරයේ කළ අවවාදයක් ලෙස ලියා ඇති එහි සටහන්වන්නේ ස්ටීව් ජොබ්ස් නැමැති කරදරකාරයාගෙන් පරිස්සම්වන ලෙසටයි.
 
Steve Jobs - Apple සමාගමේ සමනිර්මාතෘ

ස්ටැන්ෆෝඩ් සරසවියෙන් දුරස්ථ පෙදෙසක ගොඩගසා ඇති මෙම එකතුව පිහිටා ඇති ස්ථානය හෙළිනොකිරීමට සරසවිය වගබලාගෙන ඇත. ලෝකය ඇපල් සමාගම පිළිබඳ දත් නොදත් දේ සඟවාගෙන සිටින මෙම එකතුව මහජනයාට එළිපෙහෙලි වන දිනය කවදාද? නොඑසේනම් හොරරහසේ මෙතෙක් සඟවාගෙන සිටින මෙම ගොනුව යකඩ, පත්තර වලට විකිනේවිද? තවමත් සරසවිය මේ පිළිබඳ මුණිවත රකින්නේය.

Saturday, March 10, 2012

Data Compression

පරිගණකය භාවිත කිරීමේදී විශාල ගොනු කුඩා ගොනු බවට පත්කිරීමේ ඉන්ද්‍රජාල හැකියාවෙන් යුත් විවිධ පරිගණක වැඩසටහන් ඔබට මුණගැසී ඇතිවාට සැක නැත. Winzip, WinRAR, CABARC, PowerArchiver, Total Commander, 7zip ආදී විවිධ නම්වලින් අපේ පිහිටට එන මෙම මෘදුකාංග පොදුවේ දත්ත සම්පීඩක ලෙස හඳුන්වමු.


කිසියම් තොරතුරු සමූහයක් හැකිතාක් එහි අර්ථය නොවෙනස්වන පරිදි අවම ඉඩ ප්‍රමාණයකින් (අවම bit ප්‍රමාණයකින්) නිරූපණය කිරීම දත්ත සම්පීඩනය ලෙස අර්ථදැක්විය හැක.

උදාහරණයක් ලෙස: 100MB දත්ත ගොනුවක් ඊට වඩා කුඩා ගොනුවක් බවට පත්කිරීම දැක්විය හැක. එසේත් නැත්නම්, අකුරු 100කින් යුත් ලිපියක් ඊට වඩා අඩු අක්‍ෂර ප්‍රමාණයකින් නිරූපණය කිරීම දැක්විය හැක. වැදගත් වනුයේ සම්පීඩිත ගොනුව තුළ මුල්ගොනුවේ දත්තයන් අන්තර්ගතවී තිබීමයි.

බැලුබැල්මට මෙය ප්‍රායෝගිකයයි සිතීම පවා අපහසුය. නමුත් එහි සාර්ථකත්වය කොතෙක්ද යත් අපි බොහෝදෙනා අත්දැකීමෙන් දනිමු. වර්තමානයේ භාවිත වන නොයෙකුත් සම්පීඩන මෘදුකාංග භාවිතකර 100MBක ගොනුවක් 70MBක් දක්වා හෝ සමහරවිට 30MBක් දක්වා අඩුකර ගත හැක.

දත්ත සම්පීඩන ක්‍රමවේදයන් මූලික වශයෙන් කාණ්ඩ දෙකක් ඔස්සේ වර්ගීකරණය හැක. ඒවා Lossless සහ Lossy සම්පීඩන ආකාරයන් ලෙස හැඳින්වේ.


Lossless ආකාරයේ සම්පීඩිත ගොනුවක් ඇසුරින් මුල් ගොනුව යලිත් ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරගත හැක. මන්දයත් මුල් ගොනුව තුල ඇතුලත් වූ සියලු දත්තයන් සම්පීඩිත ස්වරූපයකින් අවසන් ගොනුව තුල ඇතුලත් වී ඇති බැවිනි.
files, folders, compress කිරීමේදී Lossless සම්පීඩන ක්‍රමවේද භාවිතා කෙරේ. ඕනෑම වර්ගයේ ගොනුවක් සම්පීඩනය කිරීමට මේ ආකාරය යෝග්‍යවුවත් multimedia files සඳහා එතරම් යහපත් සම්පීඩනයක් බලාපොරොත්තුවිය නොහැක.

Lossless Compression මූලික ක්‍රමවේදයන්
    i. Run-length encoding
    ii. Burrows-Wheelar
    iii. Lempel-Ziv
    iv. Huffman coding
    v. PPM

නමුත් Lossy ක්‍රමවේදයකට සම්පීඩිත ගොනුවක් මගින් මුල් ගොනුව පෙරතිබූ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරගත නොහැකිය. මක්නිසාදයත් සම්පීඩන ක්‍රියාවලියේදී මුල් ගොනුවතුළ තිබූ දත්තයන් සමහරක් සම්පීඩිත ගොනුවට ඇතුල් කර නොගන්නා බැවිනි. මෙසේ ඉවතලන දත්තයන් නිසා මුල් ස්වරූපය නැවත ඒ අයුරින්ම නිර්මාණය කරගත නොහැකිවුවත් බෙහෙවින් සමීප ගොනුවක් නිර්මාණයකළ හැක.
Image files, Sound files, Video files සම්පීඩනය කිරීම සඳහා lossy ආකාරයේ සම්පීඩන ක්‍රමවේදයන් වඩාත් උචිත සහ සාර්ථකවේ.

Lossy Compression ක්‍රමවේදයන් බහුලව භාවිත වන ගොනු සඳහා උදාහරණ කීපයක් ලෙස JPEG, MP3, MPEG දැක්විය හැක.

Tuesday, March 6, 2012

Moblile World Congress 2012 වතගොත

මොබයිල් ලෝකයේ දැවැන්තම උළෙලක් වන Moblile World Congress (MWC) 2012 උත්සවය පසුගිය සතියේ පැවැත්වුණා. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දින 4ක් මුළුල්ලේ පැවති මෙම අති දැවැන්ත ප්‍රදර්ශනය සඳහා මොබයිල් ලෝකයේ දැවැන්තයින් ඇතුළු 60,000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයක් වාර්තාවුණා. මෙම ප්‍රදර්ශනයේදී බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වුණු සමාගම් කිහිපයක නවතම නිපැයුම් ගැන විස්තර කිහිපයකි මේ:

SAMSUNG
සැම්සන්ග් සමාගමේ නවතම ගැලැක්සි නෝට් ටැබ්ලටය වන Galaxy Note 10.1  මෙම ප්‍රදර්ශනයේ දී දක්නට ලැබුණි. Android 4.0 (Ice Cream Sandwich) මෙහෙයුම් පද්ධතිය සහිත මෙම ටැබ්ලටය සතුව 1.4GHz dual-core ප්‍රොසෙසරයක් ඇතුළත් විය. මෙගාපික්සල් 3ක පිටුපස කැමරාවක් හා මෙගාපික්සල් 2ක ඉදිරිපස කැමරාවකින්ද එය සමන්විත විය.

මෙයට අමතරව, සැම්සන්ග් සමාගම තම Galaxy Tab 2 පරම්පරාවේ අඟල් 7 සහ අඟල් 10 මාදිලියන් ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබිණ. ඉදිරි මාස කිහිපයක් ඇතුළත වෙළඳපළට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති මෙම Galaxy Tabs, ඩොලර් 420කට වැඩි වටිනාකමකින් යුක්ත වනු ඇත. Android 4.0 මෙහෙයුම් පද්ධතිය, 3G තාක්‍ෂණය හා 1GHz dual-core CPU එකකින් මෙම නවතම Galaxy Tabs සමන්විතවේ.

පැය 3ක කාලසීමාවක් මුළුල්ලේ 640x360 ප්‍රමාණයේ පින්තූර දර්ශනය කළහැකි ප්‍රොජෙක්ටරයක් සහිත Galaxy Beam මොබයිල් පරිගණකය ද සැම්සන්ග් සමාගම ඉදිරිපත් කර තිබිණ.

Nokia
Nokia සමාගම තම නවතම Asha smartphone මාදිලි 3ක් මෙම ප්‍රදර්ශනයට එක්කර තිබුණා. Asha 202, 203 හා 302 මෙම නවතම මාදිලි තුනයි.

Windows Phone Tango මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත Nokia Lumia 610 ජංගම දුරකථනය ද මෙම MWC 2012 ප්‍රදර්ශනයට එක්කර තිබුණි. Xbox Live පහසුකම, 800MHz Superdragon ප්‍රොසෙසරය හා LED Flasher එකක් සහිත 5MP කැමරාවකින් ද මෙම දුරකථනය සමන්විතයි.

මීට අමතරව 41MP කැමරාවකින් යුක්ත Nokia 808 දුරකථනය ද ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

HTC
HTC සමාගම මෙම MWC 2012 ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබුණේ HTC One පරම්පරාවයි. 2012 අ‍ප්‍රේල් මස සිට ලොව පුරා HTC One ජංගම දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට හිමිවන බව HTC සමාගම ප්‍රකාශයට පත්කළේය. අඟල් 4.7ක touch screen එකකින් හා 1.5GHz Quad Core ප්‍රොසෙසර් එකකින් සමන්විත One X මාදිලිය මෙන්ම, අඟල් 4.3 touch screen එකක් හා 1.5GHZ Dual Core ප්‍රොසෙසරයක් සහිත One S මාදිලිය ද ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව One V ජංගම දුරකථනය ද HTC සමාගම ඉදිරිපත් කළේය.

Sony Ericsson
Sony Ericsson සමාගම MWC 2012 ප්‍රදර්ශනය යොදාගත්තේ Sony Xperia P සහ Sony Xperia U ජංගම දුරකථන ඉදිරිපත් කිරීමටයි. Dual Core ප්‍රොසෙසර සහිත මෙම ජංගම දුරකථන දෙක බොහෝදුරට එකිනෙකට සමාන වුවත්, ඒවා සතු කැමරා සහ දර්ශන තිරයන්ගෙන් වෙනස්කම් දක්වයි. Xperia P සතුව 8MP හා 4" touch screen එකක් ඇති නමුත්, Xperia U සතුව ඇත්තේ 5MP කැමරාවක් හා 3.5" touch තිරයකි.

Sony Ericsson සමාගම තවමත් Quad Core ප්‍රොසෙසරයක් සහිත ද්‍රරකථනයක් ඉදිරිපත් කර නැතත්, එළැඹෙන 2013 වසරේදී එම ඉලක්කය සපුරාගැනීමට ඔවුන්ට හැකිවනු ඇති බව Sony Ericsson සමාගම ප්‍රකාශයට පත්කළේය.

Huawei
Huawei සමාගම MediaPad 10 නමින් අඟල් 10ක නවතම ටැබ්ලටයක් ඉදිරිපත් කළේය. ලොව ප්‍රථම Quad Core ටැබ්ලටය ලෙසින් හඳුන්වන මෙහි මෙහෙයුම් පද්ධතිය Android 4.0 සංස්කරණයයි.

LG
LG සමාගම MWC 2012 ප්‍රදර්ශනය සඳහා කාගේත් සිත් ආකර්ශනය කරගන්නා නිපැයුමක් ඉදිරිපත් කර තිබුණා. Optimus 3D Max නමින් ඉදිරිපත් කර තිබූ 1.3GHz Dual Core ප්‍රොසෙසරය හා 4.3" touch තිරයෙන් සමන්විත මෙහි විශේෂත්වය වූයේ එය සතු 3D දර්ශන හැකියාවයි. 3D කණ්ණාඩි පැළඳීමෙන් තොරව 3D පින්තූර, චිත්‍රපට මෙන්ම Google Earth වැනි apps ද භාවිතා කිරීමේ හැකියාව එය සතුයි.

මෙයට අමතරව LG සමාගම 1.5GHz Dual Core CPU එකක් සහිත 5" touch තිරයක් ඇති Optumus Vu smartphone එක ද ඉදිරිපත් කර තිබිණ.

Sunday, March 4, 2012

Megapixel 41ක කැමරාවක් සහිත Smartphone එකක් හඳුන්වාදෙයි


ලෝකයේ ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනයෙන් තුන්වන ස්ථානයේ පසුවන Nokia සමාගම තම සමාගම විසින් නොබෝදිනකින්ම වෙළඳපලට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන නවතම ස්මාර්ට්ෆෝනයක් ප්‍රකාශයට පත්කරයි. Nokia 808 PureView නමින් දැනට හැඳින්වෙන මෙම Smartphone එකෙහි සුවිශේෂි ගුණාංග අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවන්නේ එහි ඩිජිටල් කැමරාවයි. කැමරාවෙහි විශේෂ ගුණාංග 3ක් මේවනවිට ප්‍රකාශයට පත්ව තිබෙනවා. එනම්:


  • මෙගාපික්සල් 41ක ධාරිතාවකින්යුත් සෙන්සර්
  • Carl Zeiss ප්‍රකාශ තාක්‍ෂණය
  • නවතම  Pixel Oversampling තාක්‍ෂණයක්


Nokia 808 PureView ඇසුරින් ලබාගන්නා ඡායාරූපයන්හි ඇති සුවිශේෂී සත්‍යාසන්නභාවය පිටුපස ඇත්තේ 41MP සංවේදක අභිබවා එහි භාවිතවන නවතම Oversampling තාක්‍ෂණයයි. මෙම තාක්‍ෂණය අනුව කුමන මෙගාපික්සල් පරාසයක ඡායාරූපයක් වුවද සත්‍යාසන්නතාවයෙන් ඉතා ඉහළ මට්ටමක පවත්වාගතහැකි බව Nokia සමාගම ප්‍රකාශයටපත් කරනවා.

ස්මාර්ට්ෆෝනයේ අනෙක් ගතිගුණ ලෙස

  • අඟල් 4ක දෘශ්‍ය තිරය
  • Full HD 1080p වීඩියෝ තාක්ෂණයට සහායදැක්වීමේ හැකියාව
  • ඩොල්බි හෙඩ්ෆෝන් තාක්‍ෂණය
  • 1.3Ghz ප්‍රොසෙසරය
  • 512MB RAM මතකය
  • 16 GB built-in ස්ථාවර මතකය
  • මතක ප්‍රමාණය වැඩිකිරීම සඳහා microSD කාඩ් සඳහා අනුකූලතාව


දැක්විය හැකි අතර උපාංගය Symbian Belle මෙහෙයුම් පද්ධතිය පාදකකරගනිමින් ක්‍රියාත්මකවේ.

Nokia 808 PureView, 2012 වසරේ දෙවන කාර්තුව තුළ දී නිකුත්වනු ඇතැයි විශ්වාස කරන අතර යුරෝ 450ක මිලකට යුරෝපාකරයට මුලින්ම හඳුන්වාදීමට Nokia සමාගම බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත.


Pixel OverSampling ගැන කෙටි හැඳින්වීමක්
ඩිජිටල් පින්තූර නිරූපණය වන්නේ කුඩා කොටු ලෙස නිරූපණයවන පික්සල් වලින් බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඇත්තෙන්ම පින්තූරයක් කියන්නෙ පික්සල් සමූහයක්. පික්සලයකට තිබිය හැක්කේ එක් වර්ණයක් පමණයි. එක ලඟ ඇති පික්සල් දෙකක් ගැන සිතන්න.. මේ පික්සල් දෙකේ ඇත්තේ එකිනෙකට වෙනස් වර්ණ දෙකක් නම් ඒවා අතර තියුණු මායිමක් ලෙස පෙනෙනවා. මේ තත්වය Aliasing කියා හැඳින්වෙනවා.

නමුත් සැබෑ ලෝකයේ මෙවැනි තත්වයක් නෑ. ඒ නිසා සැබෑ ලෝකයේ යමක් ඩිජිටල් පින්තූරයක් ලෙස ගතතොත් කොහොමත් සත්‍ය තත්වය නිරූපණය වෙන්නේ නැහැ. ඉතින් මේ තත්වය හැකිතාක් දුරට වසන් කර වඩාත් සත්‍යාසන්න තත්වයකින් පින්තූර ඉදිරිපත් කරන්නයි Pixel Oversampling භාවිතාවන්නේ. මෙහිදී වන්නේ යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කර පික්සල් අතර මායිම් බොඳකිරීම වැනි දෙයක්. ඒකට කියන්නේ Anti-Aliasing කියලයි.

උදාහරණයක් ලෙස පහත පින්තූර පෙළ බලන්න.