Monday, April 7, 2014

බිහිරි බවේ ප්ලග් ගැලවීම

සාමාන්‍ය ජංගම දුරකතනයකින් හෝ MP3 ප්ලෙයරයකින් ගීත අසන්නා ඵ් සදහා ඉයර්ෆෝන් හෝ ඉයර්ප්ලග් පැළැදිය යුතුය. මෙම ඉයර්ෆෝන් වලින් නික්මෙන ශබ්දය ගැන ජාත්‍යන්තර ප්‍රමිතියක් සැකසීමේ වැඩ දැන් යුරෝපා කොමිසම විසින් අරඹා තිබේ. ඉයර්ෆෝනයකින් නික්මිය යුතු උපරිම හ‍ඩේ සැර කොපමණදැයි යන්න පිළිබද යොජනා දැන් යුරෝපා කවුන්සිලය අපේක්‍ෂා කරන්නීය. 

ඉයර්ෆෝන්වල ශබ්දය නොගැළපෙන තරමට ඉහළ දමාගෙන ගීත ඇසීම නිසා, මහලු වයසට එන්නට කලින්ම කන් ඇසීම නැතිව යාමට පුළුවන් බව එළි වූයේ මීට අවුරුදු කීපයකට කලිනි.

2009 වසරේ යුරෝපා කොමිසම විසින් කළ සමීක්‍ෂණයකින් ඵළි වූයේ , ඕනෑවට වඩා වැඩි හඩින් දිගින් දිගටම ඉයර්ෆෝන් වලින් ගීත ඇසීම නිසාම කෝටියක් යුරෝපියයන් සදාකාලික බිහිරන් බවට පත්ව සිටින බවයි. එසේම සමීක්‍ෂණ‍යෙන් පෙනී ගියේ, ඉයර්ෆෝන් කනේ ගසාගෙන ගීත අසමින් ඉන්නා සෑම දෙදෙනෙකුගෙන් අයෙක්ම දැනටමත් කුමන හෝ ශ්‍රවණ ආබාධයකින් පෙළෙමින් ඉන්නා බවයි.                                                                           
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඩෙසිබල් 85ට වඩා වැඩි ශබ්දය කනට හානිකර බවය. එහෙත් දැන් බොහෝ දෙනා ඉයර්ෆෝන් වලින් අසන හඩ ඩෙසිබල් 120ට කිට්ටුය.






මින් කියවෙන්නේ ඉයර්ෆෝන් වලින් ගීත ඇසීම සපුරා අනතුරුදායක බව නොවේ. වඩා වැඩි හඩින් ගීත ඇසීම අනතුරුදායක බවය. යුරෝපා කොමිසම දැන් සැරසෙන්නේ මෙසේ අනතුරුදායක මට්ටම දක්වා ශබ්දය වැඩි කල නොහැකි තාලයේ ඉයර්ෆෝන් තැනීම නීතිගත කිරීමටය. ඵ් නීති අනුව යමින් තනන ඉයර්ෆෝනයක හඩ අපට ඕනෑ හැටියට ඩෙසිබල් 80කට වඩා වැඩි කළ නොහැකි වනු ඇති.

2 comments:

ඩෙසිබල් නැතුව ඇහුවනම් හරි නේ..කනත් ආරක්ෂාවෙනවා.

එහෙම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද... :D

Comment එකක් දාන්න