2012 මාර්තු 15 (බ්‍රහස්පතින්දා) දිනෙන් මත්තට ෆේස්බුක් සමාජජාලය වසාදැමීමට එම සමාගම තීරණය කර ඇතැයි යන්න පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුනු කතාවකි. තමන් නිතිපතා භාවිත කරනු ලබන ෆේස්බුක් ජාලය හිටිහැටියේම වසාදැමෙන බව ඇසීමෙන් පුදුමයට හා කම්පාවටපත් පිරිස සුළුපටු නොවේ. මන්දයත් මිලියන 845 ඉක්මවූ ලොවපුරා ජනකායක් රොදබැඳ ෆේස්බුක් අඩවිය වෙත පිවිසීමට පුරුදු පුහුණු කරගෙන සිටින්නෝ බැවිනි. ෆේස්බුක් වසාදැමෙන බව ලොවම මවිත කරමින් ප්‍රකාශයට පත්කළේ "Weekly World News"(weeklyworldnews.com) නම් පුවත් වෙබ්අඩවියයි.
ෆේස්බුක් ජාලය පාලනය කිරීම අපහසු තත්වයකට පත්ව ඇති බවත්, එහි පරිපාලන කටයුතු හේතුවෙන් තමන් බලවත් පීඩනයකට පත්ව තිබෙන බවත්,
එහි නිර්මාතෘ හා වත්මන් විධායක අධ්‍යක්‍ෂක වන මාක් සකර්බර්ග් කළ ප්‍රකාශයන් ලෙස උපුටා දක්වමින් Weekly World News අඩවිය ෆේස්බුක් ජාලය වසාදැමීමට නියමිත බව වාර්තා කළේය. සකර්බර්ග්ගෙන් කළ පුද්ගලික විමසීමකදී facebook වැසීමෙන් ලොවපුරා ජනතාවගේ ජීවිතවලට අයහපතකට වඩා යහපතක් සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශකළ බවත් ෆේස්බුක්හි තාක්‍ෂණික උපසභාපතිගෙන් කළ විමසීමකින් මාර්තු 15වන දින facebook වැසීයාම තහවුරු කරගත් බවත් මෙම පුවත් සේවය වාර්තාකර තිබේ.
ෆේස්බුක් සමාගම වැසීමට යන්නේනම් ඇමරිකානු කොටස් වෙළඳපලට එක්වූයේ මන්දැයි විශාල ප්‍රෙහෙලිකාවක් විය. අනෙක් අතට මේවන විට මාක් සකර්බර්ග්ට ඇත්තේ ෆේස්බුක්හි මුළු අයිතියෙන් 28.4% ක් පමණක් බව අමතක නොකළ යුතුයි. මේ අනුව Weekly World News පුවත පිළිබඳ දැඩි සැකයක් පහළවීම ස්වාභාවිකයි.
Weekly World News අඩවියෙහි මෑතකදී පළ කර ඇති පුවත් අතර පිටසක්වලජීවීන් පෘථීවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි මැයෙන්ද පුවතක් ද වේ. අනෙක්වා බොහොමයක ද විශ්වාසවන්තභාවයක් නොමැති බව තහවුරු වී ඇත. මේ අනුව මෙම පුවත් සේවයේ විශ්වාසවන්තභාවය පිළීබඳ අදහසක් ලබාගත හැක. ඒ බව සනාථ කරමින් පසුගිය පෙබරවාරි 10 වන දින ෆේස්බුක් සමාගම විසින් නිල ප්‍රකාශයක් නිකුත්කරමින් "ෆේස්බුක් සමාජජාලය වසාදැමීම පිළිබඳ කිසිඳු තීරණයක් ගෙන නොමැති" බව ප්‍රකාශයට පත්කෙරිණ.

වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.
Comment එකක් දාන්න