Tuesday, January 10, 2012

ලෝක ව්‍යාප්ත ජාලය (WWW) හා අන්තර්ජාලය

මෑත යුගයේ ලංකාවේ ජනප්‍රියත්වයට පත්වූ සුවිශේෂ මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හඳුන්වන්න පුලුවන්. බොහෝ පුද්ගලයන් තම එදිනෙදා ජීවිතයේ දී විවිධ කටයුතු සඳහා අන්තර්ජාලයේ පිහිට පතනවා. සමහර අයෙක් තොරතුරු දැනගැනීමට, විද්‍යුත්තැපෑල භාවිතාකිරීම ආදී කටයුතුවලට භාවිත කරද්දී තවත් අයෙක් විනෝදාස්වාදයට, තමන් දන්නා හඳුනනා පුද්ගලයන් හා සම්බන්ධවීමට එහි පිහිටපතනවා.

එය කෙසේවුවත්, බොහෝ පුද්ගලයන් අතර ලෝක ව්‍යාප්ත ජාලය(World Wide Web) හා අන්තර්ජාලය(Internet) පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බව පෙනීයන කරුණකි. 
සමහරෙක් ඒවා එකම අරුත ඇති ලෙස සලකන අතර තවත් සමහරෙක් ඒවා කිසිම සම්බන්ධයක් නොමැති කරුණු බව සලකනවා. මේ පිළිබඳ පැටලිලි සහගත තත්වයක් ඇතිවීම බොහෝදුරට සාධාරණීකරණය කළ හැක. ඇත්තෙන්ම එවැනි තත්වයක් ඇති කිරීමට හේතුවූයේ ලෝක ව්‍යාප්ත ජාලයේ හෝ අන්තර්ජාලයේ නිර්මාතෘවරුන් අතින් සිදුවූ නාමකරණ වරදක් නිසා යයි සැලකීමේ කිසිඳු වරදක් නැහැ.

සත්‍යවශයෙන්ම අන්තර්ජාලය යනු තොරතුරු තාක්‍ෂණික උපකරණ (උදා-පරිගණක) එකිනෙක සම්බන්ධ කිරීමෙන් සෑදී ඇති භෞතිකමය/තාක්‍ෂණිකමය ජාලයකි. අන්තර්ජාලය යන වදනේ අරමුණ වන්නේ මෙම සුවිශාල ඒකකය නිරූපණය කිරීමයි. මෙසේ ඒකකයක් පවතින නිසා, එහි අඩංගු වන උපාංග අතර ප්‍රයෝජනවත් සේවා ඇති කරගත හැකිවී තිබෙනවා. ඇත්තෙන්ම අප භාවිතයට ගන්නේ අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන සේවාවන්ය. මේ එකම අන්තර්ජාලය තුල සේවාවන් විශාල සංඛ්‍යාවක් භාවිතයට ගැනෙනවා. එක් එක් සේවාවන්ට අනුරූප දත්ත සන්නිවේදනය කරගත යුතු පිලිවෙලවල් තිබෙනවා. ප්‍රොටෝකෝල (protocol) ලෙස හැඳින්වෙන්නේ එවැනි පොදු එකඟතාවක් ඇති සන්නිවේදන ක්‍රමවේදවලටයි.

ලෝක ව්‍යාප්ත ජාලය යනු අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන එවැනි එක් සේවාවකටයි. වර්තමානයේදී අන්තර්ජාලයේ වඩාත් ජනප්‍රියම සේවාවක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය සැලකෙනවා. WWW පිළිබඳ දීර්ඝ ලෙස විස්තර කිරීම මෙහි අරමුණ නොවේ. නමුත්, ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යනයක් කරනු ඇත් නම් එය ඔබගේ අවබෝධය වැඩිදියුණු කරගැනීමට ඉතා උපකාරීවන බව සැකයක් නොවේ.

1 comments:

antharjalayen athivana samaja balapama gana thorathuru athulath karanna

Comment එකක් දාන්න