Sunday, January 15, 2012

Harddisk ඉතුරු වුනේ ඇයි?


බොහෝ පරිගණක වල අවම වශයෙන් ස්ථිර මතක 2ක් ඇත. එක් කොටසක් ROM මතකය ලෙස දෘඩාංග චිපයන් තුල අඩංගු වන අතර අනෙක් කොටස දෘඩතැටිය (harddisk) තුල අඩංගු වෙනවා. මෙතනදී ස්ථිර මතකය ලෙස අපි හැඳින්වූයේ විදුලිය විසන්ධි වූ විට ද නොවෙනස්ව පවතින මතකය(non-volatile memory) පිළිබඳවයි.

වත්මන් පරිගණක අතිබහුතරය තුළ ප්‍රධාන මතකය දෘඩ තැටියයි. අනෙකුත් උපාංග වලට සාපේක්‍ෂව විශාලතම ධාරිතාවය ඇත්තේ ද දෘඩතැටියටයි.  එමෙන්ම,  චුම්බකත්වය භාවිතයට ගනිමින් දත්ත ගබඩාකරණ උපාංග (floppy disk, කැසට් ටේප් ...) අතුරින් ශේෂවී සිටින ප්‍රධාන උපාංගයයි.

1950 දශකයේදී fixed disk නමින් භාවිතයට පැමිණි මේ උපාංගය එකල ජනප්‍රිය වූ IBM පරිගණක තුල winchesters ලෙසද හැඳින්විණ. එම වකවානුව තුළ බහුලව භාවිතා වූ floppy diskette වලින් වෙන්ස් වන මූලික කාරණයක් වූයේ මෙහි ඇති දැඩි බව නිසාම බොහෝදෙනා දෘඩ තැටිය (hard disk) ලෙස මේ උපාංගය හැඳින්වෙන්නට පටන්ගත්තා.

කැසට් ටේප් තුල ප්ලාස්ටික් පටල තීරුවක් තුල දත්ත ගබඩාකිරීමට භාවිතා කරන මූලධර්මය වන්නේ එම පටියේ නොයෙක් ස්ථාන වලට චුම්භක ක්‍ෂේත්‍රය විවිධ දිශාවලට යෙදීමෙනි. යොදන ලද ක්‍ෂේත්‍රයේ දිශාවට අනුරූපව පටියේ තවරා ඇති විශේෂ ද්‍රව්‍යයක්(ferromagnetic material) ඇසිරේ.

මෙම මූලධර්මය භාවිතයට ගන්නා harddiskය ප්ලාස්ටික් පටල තීරුවක් වෙනුවට භාවිත කරනුයේ චුම්බකිත දැඩි තැටි (hard platter) වලිනි. Platter එකෙහි අදාල තැන්වලට චුම්බක ක්‍ෂේත්‍රය අදාල දිශාව ඔස්සේ ගබඩා කිරීමෙන් harddisk තුල දත්ත ගබඩා කෙරේ. ටේප් එකක මෙන් නොව ප්ලැටර් එකක් මත චලනය වන කියවීමේ/ලිවීමේ හිස(read/write head) මගින් විසිරී ඇති ඕනෑම දත්ත කොටසක් තත්පරයකින් පංගුවක් වැනි කෙටි කාලයක් තුළ සොයාගත හැක. ටේප් පටියක් නම් එතීමට විනාඩි ගණනාවක් ගතවිය හැක.  read/write head එක තැටියේ නොගෑවෙන නිසා හානියකින් තොරව තැටිය ඉතා වේගයෙන් කැරකැවීමටත්(විනාඩියට වට 7200ක් පමණ), හිස තැටිය මත නිදහසේ ඔබමොබ ගෙනයාමටත් (තත්පරයට තැටිය හරහා වාර 50ක් පමණ)හැකිවී ඇත. ඩිස්කයට සාපේක්‍ෂව හිස පැයට කි.මී. 272 ක පමණ වේගයෙන් චලනය වීමට කරම් කාර්යක්‍ෂමය.

බැලූ බැල්මටම floppy disk වැනි වෙනත් චුම්බක මාධ්‍ය මෙතරම් දියුණුවක් ලඟාකරගෙන නැහැ. බොහෝවිට ඒවා භාවිත වූයේ removable devices(තෘතියික ගබඩාකරණ උපාංග) ලෙසයි. මේ කාර්යයට චුම්භකත්වයට වඩා උචිත වන්නේ ප්‍රකාශ මාධ්‍ය(optical media) බව වටහාගන්නට ලෝකයාට එතරම් කලක් ගත නොවීම මෙයට හේතු වන්නට ඇති.

නමුත් හාඩ්ඩිස්කයට නම් මෙවැනි බරපතල තර්ජනයක් මෙතෙක් එල්ලවී නැහැ. නමුත් දැන්දැන් SSD(Solid-State Devices) වර්ගයේ හාඩ්ඩිස්ක් චුම්බකත්ව හාඩ්ඩිස්ක් සමග තරඟයට එළඹිමට සූදානමින්. SSD තාක්‍ෂණය බොහෝ කාර්යක්‍ෂම හා වේගවත් වුවත් යම් තාක්‍ෂණ ගැටලු වලින් පෙලෙනවා. විශාල ධාරිතාවක් ලබාගැනීමට SSD යොදාගන්නා විට සාපේක්‍ෂව විශාල භෞතික ඉඩකඩක් වැයවෙනවා. Flash drive
තාක්‍ෂණය මූලික කරගෙන ඇතිනිසා  බොහෝ SSD harddiskවල ලිවීම්-මැකීම් වාර ගණනකට සීමිතයි.

කෙසේවුවත්, මේ තාක්‍ෂණික ගැටලු සමථයකට පත්වන තුරු චුම්බකත්ව හාඩ්ඩිස්ක තවත් අවුරුදු 5-10ක් අප ඇසුරේ රැඳේවි.

1 comments:

Comment එකක් දාන්න