Wednesday, January 18, 2012

විකිපීඩියා ඉංග්‍රීසි විශ්වකෝෂය පැය 24ක් වසා දැමේ. ගූගල් සමාගම ද විරෝධයට එක්වෙයි.

 ජනවාරි 18 දින UTC වේලාවෙන් 05:00: එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 11:00 ට පමණ ඉංග්‍රීසි විකීපීඩියා සංස්කරණය තාවකාලිකව අත්හිටුවීමට එහි පරිපාලකයන් තීරණයකරති. ඇමරිකානු නියෝජිත මධ්‍ය මණ්ඩලය(එනම් පාර්ලිමේන්තුව) විසින් සම්මත කිරීමට යෝජනා කරනු ලැබ ඇති SOPA(Stop Online Piracy Act) පනතට හා එම සෙනේට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති PIPA(PROTECT IP Act) පනතට විරෝධය පළකිරීම මෙහි අරමුණවී ඇත. බුද්ධිමය හිමිකම් පිළිබඳ නීතිමය පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට  මෙම පනත් ඉදිරිපත් කර ඇත නමුත් එහි අඩංගු කරුණු හා බලතල මගින් අන්තර්ජාලයේ  නිදහස් බවට හා විවෘත බවට දැඩි සම්බාධක පැනවෙන බැවින් Wikipedia වැනි නිදහස් හා විවෘත සේවාවන් විශාල වශයෙන් අඩපණ වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉංග්‍රීසි විකිපීඩියාව මෙවැනි විරෝධතාවකට එළඹෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මෙය ඉතා සුළුවෙන් ගත් තීරණයක් නොවන බවත් මෙසේ කිරීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවත් විකිපීඩියාව දැනුම් දී තිබේ. මෙම විරෝධතාව ඇමරිකාවට පමණක් බලපවත් වන අයුරින් පවැත්වීමට යෝජනා වී තිබුණ ද පසුව මහජන ප්‍රතිචාර හමුවේ මුලු ලෝකයටම බලපවත් වන අයුරින් ඉංග්‍රීසි විශ්වකෝශය පමණක් වසා දැමීමට තීරණය කර ඇත. ඇමරිකාව ආදර්ශයට ගනිමින් වෙනත් රටවල ද මෙවැනි පනත් ඉදිරිපත්වීම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගයට එළඹී බව විකිපීඩියාව දන්වා සිටී.

SOPA හා PIPA පනත් මගින් හිමිකම් ඇවිරුණු(copyrighted) බුද්ධිමය දේපල නීතිවිරෝධීව(අයිතිකරුගෙන් අවසර නොමැතිව) බාගතකිරීමට(download), ප්‍රදර්ශනය කිරීමට ඉඩදෙන වෙබ් සේවාවන් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ඇමරිකානු රජයට නීතිමය බලතල හිමිවේ.

2001 ජනවාරි 15 දින ආරම්භ වූ විකිපීඩියා සේවය  11වන සංවත්සරය සැමරුවේ පසුගිය 15වන දායි. ලාභ-ප්‍රයෝජන නොතකා මහජන සේවය අරමුණු කරගත් සේවයක් ලෙස පවත්වාගෙන ආ විකිපීඩියාව දැනට ලොව ඇති හොඳම සහ නිවැරදිම විශ්වකෝෂයයි. මහජනයා විසින්ම මහජනයා උදෙසා පවත්වාගෙන යන මෙවැනි සේවා වලට එරෙහිව SOPA සහ PIPA පනත් මගින් දැඩි බාධා එල්ලවීමට බොහෝ ඉඩකඩ ඇති බව විචාරකයෝ පෙන්වාදෙති.


විකිපීඩියාවේ මෙම විරෝධතාවයට සමගාමීව Mozilla, Reddit, Wordpress සමාගම් ද සේවා අඩපණ කිරීමෙන් සහාය ලබාදෙන අතර Google, Facebook, Twitter සමාගම් මෙම පනත් කෙරෙහි විරෝධය පළකර ඇත. කෙසේවුවත් ට්විටර් සමාගම විකිපීඩියා තීරණය දෝෂාරෝපණයට ලක්කර ඇති බව ද දැනගන්නට ලැබී ඇත.

3 comments:

Wikipedia, we support u. We want an OPEN Internet.

http://wikimediafoundation.org/wiki/SOPA/Blackoutpage

මේ ඇමරිකන්කාරයන්ට මොනවා වෙලාද මන්දා... SOPA PIPA අපට එපා!..

Comment එකක් දාන්න